Saturday, August 27, 2016

ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්.

ඕනෑම වයසක සිටින දරුවන්ට මෙන්න මේ ලිංගික සෞඛ්‍ය ගැටලු ඇතිවෙන්න පුළුවන්.

දරුවන් වැඩෙන්නේ බලාගෙන ඉද්දීමයි. පුංචි දරුවෙක් ටික දිනකට පසුව දකින වැඩිහිටියෝ “ආනේ මේ දරුවා උස ගිහින් හොඳ සනීප පාටයි” කියන්නේ වැඩීම ගැන නොකියා. මේ වගේ වෙලාවට වැඩිහිටියා සමඟ කතා කරලා අහගන්න තරම් ශාරිරික ගැටලු ළමා තරුණ පිරිස් අතරේ තිබුණත් අහලා කතා කරන්න තරම් මේ අයගේ හිතට හයියක් එන්නේ නෑ. නමුත්, දරුවන්ගේ වගේම වැඩිහිටියන්ගේ වුවත් ශාරිරික මානසික ගැටලු ඕනෑ තරම්, මේවා කතා කරලා විසඳන්න කවුරුත් නොසිටියහොත්, ප්‍රශ්න තවදුරටත් වැඩිවෙනවා.

මහනුවර ශික්ෂණ මහ රෝහලේ ලිංගික සෞඛ්‍ය හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගංගා පතිරණ මහත්මිය වත්මන් පිරිමි දරුවන්ගේ තරුණයින්ගේ සහ වැඩිහිටියන්ගේ ලිංගික රෝග පිළිබඳව දැක්වූ අදහස් මෙසේයි.

ලිංගික සෞඛ්‍ය ගැටලු වැඩිවශයෙන් ඇතිවන වයස් කාණ්ඩයක් තිබෙනවාද?

නැහැ ලිංගික අවයවයන්හි ගැටලු ඇතිවන විශේෂ වයස් කාණ්ඩයක් නැහැ. නමුත් සෑම වයසකදීම ඇතිවන විවිධ රෝගී තත්ත්වයන් තිබෙනවා. සෑම පුද්ගලයෙකුම එකිනෙකාට වෙනස්. ඒ වෙනස්වීම් හරහා පුද්ගලයින් තමන් රෝගියෙක්ද යන්න, සැකයෙන් රෝගී වූ අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට එකම වයසක පසුවන තරුණයින් දෙදෙනෙකුගේ ලිංගික අවයව වෙනස් අන්දමට වර්ධනය වී තිබෙන්නේ. මෙය සංසංදනය කරන තරුණ ළමයි වැඩීම පිළිබඳ ගැටලුවකින් හෝ වෙනත් ගැටලුවක් මවා ගනිමින් රෝගයක් තමාට ඇති බව සිතනවා. එය වැරදියි.

කිසිදු පුද්ගලයෙකුට තමන්ගේ අවයවවල වර්ධනය පිළිබඳව සංසංදනය කරන්න බැහැ. තමන්ගේ පවුලේ ගති ලක්ෂණ ජාන, වර්ණ දේහ ඇතුළු බහුවිද කාරණා අවයව වර්ධන වීමට බලපානවා. එහෙයින්ම තමන්ගේ ලිංගික අවයවවල ගැටලුවක් ඇත්නම් වෛද්‍යවරයෙකුගෙන් විමසා දැන ගැනීමයි කාලෝචිතම ක්‍රියාව.

ලිංගික අවයවයන්හි ප්‍රමාණය පිළිබඳව බොහෝ දෙනාට ගැටලු තිබෙනවා නේද?

කලින් ප්‍රකාශ කළ පරිදිම සෑම පුද්ගලයෙකුම එකිනෙකාට වෙනස්. සිරුර වර්ධනය වන්නේ ඒ ඒ පුද්ගලයාට පවතින පෝෂණ ශක්තිය සහ ජානවල බලපෑම මත. බොහෝ විට වයසට යෑමේදී ඇතැම් පුද්ගලයින් විශේෂයෙන්ම වැඩිහිටි පිරිමින් ප්‍රකාශ කර සිටිනවා. තමන්ගේ ශිෂ්ණය තිබූ ප්‍රමාණයට වඩා කුඩා වී ඇති බව. ඇත්තෙන්ම එය තරබාරුකමේ ප්‍රතිඵලයක්. සමේ මේද තට්ටුවේ ඝනකම වැඩිවන විට සම තරමක් ඉදිරියට නෙරා ඒමට ඉඩක් තිබෙනවා. නමුත් අවයවය කුඩා වීමක් සිදුවන්නේ නැහැ.

ලිංගික දුබලතා ඇති වන්නේ වැඩිහිටියන්ට පමණද?

නැහැ. තරුණවියේ දරුවන්ටත් ලිංගික දුබලතා ඇති වෙනවා. මෙය තරමක් සංකීර්ණ තත්ත්වයක් ලෙස සාකච්ඡා කළ යුතු වෙනවා. ඕනෑම වයසක (තරුණ, මහලු) පුද්ගලයෙකුට ලිංගික දුබලතා ඇතිවීමට නොදැනුවත්ම බලපාන හේතුව වන්නේ දියවැඩියාවයි. මෙහිදී නොදැනුවත්වම බලපාන ලෙසින් ප්‍රකාශ කළේ බොහෝ දෙනෙකුට දියවැඩියාව වැළඳී ඇත්ද යන්න පිළිබඳව නොදැන සිටීමයි.

ලිංගික දුබලතා වර්ග කිහිපයක් තිබෙනවා.
ලිංගික අවශ්‍යතා පිළිබඳ කැමැත්ත අඩුවීම
ප්‍රාණවත් බව පිළිබඳ ප්‍රශ්න
ශූක්‍ර මෝචනය පිළිබඳ ප්‍රශ්න

මේ අතරින් පළමු හා දෙවන දුබලතා සඳහා බෙහෙවින්ම බලපානු ලබන්නේ ආශාව, හෝ කැමැත්ත හෝ ඕනෑකම පිළිබඳ තත්ත්වයයි. ඒ සියල්ල මානසික ගැටලු වශයෙන් සැලකීමටද හැකියි. මේ අතර හෝමෝනවල බලපෑම මතද මෙවැනි දුබලතා ඇතිවීමේ ඉඩක් පවතිනවා.

මෝචනය පිළිබඳව වැඩිවශයෙන් දුබලතා ඇතිවන්නේ, තරුණ වයසේ පසුවන්නන්ටයි. ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආරම්භ කළ අවධියේදී මෙම තත්ත්වය පැනනැගීමේ බෙහෙවින් ඉඩකඩ වැඩිය. අධිසංවේදී භාවයේදී ඇතිවන තත්ත්වයන් මේ තත්ත්වයට හේතු වී තිබෙනවා. මෙයට අමතරව ලේ නහරවල සහ ස්නායු පද්ධතියේ ඇතිවන ගැටලු, හෝමෝන පිළිබඳ ගැටලු ද බලපානවා.

ලිංගික දුබලතා යන රෝගිී තත්ත්වය නිසා පවුලේ සමගිය, අඹුසැමියන් අතර ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. එහෙයින් ලිංගික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ දැනුම සහිත වෛද්‍යවරයෙකුට පෙන්වා ප්‍රතිකාර ලබා ගැනීම සුදුසුයි. ප්‍රතිකාර ලබා ගැනීමේදී සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට, ස්වාමීපුරුෂයා සහ භාර්යාව යන දෙදෙනාම පැමිණීම වැදගත්.

වෘෂණ කැරකීම යන රෝගී තත්ත්වයත් තරුණ වැඩිහිටි සෑම වයසකටම බලපානවා නේද?

දින කිහිපයක් හෝ පැය කිහිපයක් තිස්සේ ඇතිවන වේදනාව හෝ වෘෂණ කෝෂවල ඇතිවන ඉදිමුම ආසාදනයක් නිසා ඇතිවිය හැකියි. මෙම තත්ත්වයේදී වෘෂණය වෙත රුධිරය සැපයෙන පටක මිය යාමට ඉඩක් තිබෙනවා. එසේ වුවහොත් ජීවිත කාලයම වෘෂණ අප්‍රාණිකව පැවතිය හැකියි. වෘෂණ කෝෂවල වේදනාවක් ඇතිවුව හොත් වහාම කාලය වැය නොකොට වෛද්‍යවරයෙකු වෙත යා යුතුමයි.

වෘෂණ ආසාදන ලෙස හඳුන්වන්නේ කුමන තත්ත්වයද?

Epididymits with Epididymolcyst ලෙස හඳුන්වන ශූක්‍ර නාලයේ මුල් කෙළවරේ ඇතිවන ඉදිමුම සහ වේදනාව හෝ Orchitis හෙවත් වෘෂණ කෝෂයේ ඇතිවන ඉදිමුම් තත්ත්වය වෘෂණ ආසාදන ලෙස හැඳින්විය හැකියි.

ලිංගිකව සක්‍රීය, තරුණ වයසේ පසුවන පිරිමින්ගේ මෙවැනි තත්ත්වයක් ඇතිවීමට බොහෝවිට හේතු වන්නේ, ලිංගිකව සම්පේ‍්‍රෂණය වන විෂබීජ වන අතර මුත්‍රා මාර්ගයට ඇතිවන ආසාදනයන්ට නිසි ප්‍රතිකාර නොලැබුණහොත් හෝ ප්‍රතිකාර නොගෙන සිටියහොත් මුත්‍ර මාර්ගය දිගේ ඉහළට පැතිරී ගොස් මෙම තත්ත්වය ඇතිවේ.

ආසාදන ඇතිවීමට සරලම හේතු ලෙස ආසාදිත බැක්ටීරියා ඇතිවීමට ඉඩහරින තත්ත්වයන් හෙවත්, අඩුවෙන් ජලය පානය කිරීම, මුත්‍රා පිටකිරීමට මැලිවීම, මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් නොවීම, බලපෑ හැකියි.  මෙහිදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යතු අතර පූර්ව සහ පසු ප්‍රතිකාර මත රෝගය නිශ්චිතවම සුව වූවාද යන්න සැකහැර දැනගත යුතුය.

ශූක්‍රධාතු සමඟ ලේ පිටවීම ආසාදන තත්ත්වයක්ද?

ආසාදන තත්ත්වයක් නිසාත් ශූක්‍රධාතු සමඟ ලේ පිටවීමේ තත්ත්වයක් ඇතිවීමට පුළුවනි. මෙය ඇතිවන්නේ, වෘෂණකෝෂ සහ ශූක්‍ර නාලය ආශි‍්‍රතව ඇති කුඩා රුධිර නාලවල තුවාල වීමක් නිසා රුධිරය ශූක්‍රධාතු සමඟ මිශ්‍ර වීමෙනි. මෙය වෙනත් රෝගී තත්ත්වයක් නොමැතිව සිදුවිය හැකි අතර රුධිරය පිටවන්නේ ශුක්‍රධාතු සමඟ සුළු වශයෙන් පමණයි.

ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගී තත්ත්වයන් මොනවාද?

මුත්‍රා දැවිල්ල
මුත්‍රා මාර්ගයෙන් ශ්‍රාවය පිටවීම
මුත්‍රා මාර්ගයේ ඇතිවන අමුතු දැනීම (සතෙක් දගලන්නා සේ)
තුවාල තත්ත්වයන්
බිබිලි කැඩී ඇතිවන තුවාල සමූහයක්
ඉන්නන් වැනි රෝග තත්ත්වයක්

මෙවැනි රෝග ලක්ෂණ සහිතව මතුවන්නේ ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගයි. මෙවැනි රෝග තත්ත්වයන් සහිත පුද්ගලයන් විවාහක නම් හෝ ස්ථීර සහකාරියක සිටී නම් ඔවුන්ටද ප්‍රතිකාර ලබා දීම අත්‍යාවශ්‍යයි.

පිරිමින්ට ඇතිවන හර්නියා තත්ත්වය පිළිබඳ ප්‍රකාශ කළොත්?

පිරිමි උදවියට ඕනෑම වයසකදී හර්නියා තත්ත්වයක් ඇතිවිය හැකියි. මෙහිදී යටිබඩේ ඇතිවන අසාමාන්‍ය නෙරා ඒමක්, වෘෂණ කෝෂ තුළ ඇතිවන විශාල වීමක් වශයෙන් ඇතිවිය හැකියි. ඇතැමුන්ට තදබල වේදනාව සමඟ රෝග ලක්ෂණ එකවර ඇතිවිය හැකියි. එහිදී හර්නියා තත්ත්වයට පත්වන පටකවල, විශේෂයෙන් අන්ත්‍ර කොටස්වල රුධිරය සැපයුම අඩාල වී එම පටක මිය යාමට ඉඩ ඇති නිසා හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි.

ලිංගික අවයවවල අපිරිසිදුකම නිසා විවිධ බරපතල රෝග තත්ත්ව පවා ඇති වෙනවා නේද?

තරුණවියට පත් වූ පිරිමින් සියලු දෙනාම පෙරසම පසුපසට කර දිනපතාම පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යයි. මෙසේ නොකල විට දිලීර රෝග තත්ත්වයන්, ආසාදන තත්ත්වයන් ඇතිවිය හැකියි. දිගුකලක් පිරිසිදු නොකළ විට පටකවල ඇතිවන කුඩුවැනි ද්‍රව්‍ය (Smegma) ඉවත් නොකර තිබූ විට පිලිකා පවා ඇති වෙනවා. එහෙයින්ම දිනපතා පෙරසම පිටුපසට කොට පිරිසිදු කළ යුතුයි. මෙසේ පිරිසිදු කිරීම කුඩාකළ සිටම පිරිමි දරුවන්ට හුරුකර වීම දෙමව්පියන්ගේ වගකීමක්.

ශරීරයේ ඇති උෂ්ණත්වය හේතුකොට ගෙන දිලීර රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඒවා Candidiasis - Balanophosthitis ලෙස හදුන්වනවා. මෙම තත්ත්වය දියවැඩියාව පාලනය කර නොගැනීමෙන් වඩා බරපතල ලෙස වැඩි වනවා සේම පෙරසම පුපුරා තුවාල බවට පත්වන අවස්ථා තෙක් වර්ධනය වීමටද ඉඩ තිබෙනවා. බොහෝ විට පුද්ගලයින් දියවැඩියාව ඇතිබව දැනගන්නේ මෙවැනි තත්ත්වයකදීයි.

ඇතැම් විට සමහර තරුණ සහ වැඩිහිටි පිරිමින් අතර රෝග ලක්ෂණ නොමැතිව ආසාදන තත්ත්වයන් ශරීරය තුළ තිබිය හැකි බැවින් අවධානම් සහිත ලිංගික සම්බන්ධතාවයක් කෙදිනක හෝ පවත්වා ඇත්නම් වෛදවරයෙකු මුණ ගැසී ඇත්ත තත්ත්වය පවසා පරීක්ෂණ සිදුකොට තමාගේ රෝග තත්ත්වය ඇති නැති බව දැනගැනීම අනාගතයට වැදගත්. මෙසේ පරීක්ෂා කර ගැනීම තමන්ගේ ආදරණීයන්ගේ සුභ සිද්ධියත් මතුවටත් ඉපදෙන ඔවුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සඳහාත් බෙහෙවින් බලපාන බව තරයේ මතක තබා ගත යුතුයි.

සමන්ති වීරසේකර

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment