Saturday, August 27, 2016

ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් පිළිපදින්න වෙනවා.

ඔසප් වේදනාව නැතිකර ගැනීමට නම් කාන්තා ඔබට මේ දේවල් පිළිපදින්න වෙනවා.
 

වයස අවුරුදු 16 පමණ සිට වයස අවුරුදු 45 පමණ තෙක්‌ කාන්තාවන්ට සෑම මසකට වරක්‌ මුහුණදීමට සිදුවන ඔසප්වීමකදී බොහෝ කාන්තාවන් පවසන්නේ එය හරිම වේදනාත්මකයි කියාය.

මෙසේ වේදනාව ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව තමයි ඔවුන් පෙළෙන මානසික පීඩාවන්. මානසික පීඩාවන් විවිධ ආකාරයෙන් මතුවෙනවා. එය ඔවුන් ගත කරන ජීවිතය, වයස්‌ මට්‌ටම, මුහුණ පෑමට සිදුවන ගැටලු අනුව වෙනස්‌ වෙනවා.

වයස අවුරුදු 16-18 අතර වියේ පසුවන තරුණියන් බහුතරයකට ඔසප්වීමේදී වේදනාව ඇතිවන්නේ අධික වෙහෙස, නිසි ලෙස පෝෂ්‍යදායි ආහාර නොගැනීම විභාග ආදිය සඳහා මුහුණදීමට ඇති බිය ආදී හේතු නිසයි.

වයස අවුරුදු 18 න් පසු බහුතරයක්‌ කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන ගැටලුවක්‌ වනුයේ රැකියාවක්‌ සොයා ගැනීමයි. ඊට අමතරව උසස්‌ අධ්‍යාපන කටයුතු සඳහා වෙහෙසීමට සිදුවීමයි. මෙම අවස්‌ථාවන්හිදී මතුවන මානසික පීඩාවන්ද ඔසප්වීමේදී වේදනාව මතුවීමට බලපායි.

වයස අවුරුදු 18 ත් 35 ත් අතර කාලයේදී ඔසප්වීමේදී ඇතිවන වේදනාවට හේතු ලෙස බහුලවම දැකිය හැක්‌කේ විවාහය ප්‍රමාදවීම නිසා මතුවන මානසික පීඩාව, රැකියාවේ මතුවන ගැටලු අවිවේකී බව, තමා මෙතෙක්‌ ජීවත් වූ පරිසරයෙන් නික්‌ම අලුත් පරිසරයකට ගොස්‌ ජීවත්වීමට සිදුවීම ආදියයි. විශේෂයෙන්ම විවාහයෙන් පසු වෙනත් නිවසකට ගොස්‌ ජීවත්වීමට සිදුවීම අලුත් සාමාජිකයන් ඇසුරේ ජීවත්වීමට සිදුවීම නිසාද මතුවන මානසික පීඩනය ඔසප්වීමේදී වේදනාව මතුවීමට බලපාන සුලභ හේතුවකි.

වයස අවුරුදු 35 න් පසු ඔසප්වීමේදී වේදනාව මතුවීමට බලපාන හේතු අතර ඩිම්භ නිසි ලෙස මෝරා පිට නොවීම, ප්‍රජනන පද්ධතියේ පිළිකාවක්‌, අධික තරබාරුව, කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර අධික ලෙස ගැනීම නිසා හෝමෝන වල වෙනස්‌කම් මතුවී තිබීම දැක්‌විය හැකියි.

මේ සියලු කාරණා හමුවේ සිදුවන්නේ කාන්තාවන්ගේ ප්‍රජනන හෝමෝන වන ඊස්‌ට්‍රජන් සහ ප්‍රොජස්‌ටරෝන් හෝමෝනවල සමතුලිතතාවයේ වෙනස්‌කම් ඇතිවීමය. මෙම ඇතිවන වෙනස්‌කම් නිසා ඩිම්බ කෝෂයේ ගබඩා වී ඇති ඩිම්බ පිටවීමේ ප්‍රමාද මතුවේ. එවිට නිසි දිනට ඩිම්භයක්‌ පිට නොවේ.

ප්‍රජනන පද්ධතියේ මතු වූ පිළිකාවන් නිසා ඔසප්වීමේදී මතුවන වේදනාව හඳුනා ගැනීමට තවත් රෝග ලක්‍ෂණ කිහිපයක්‌ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. සිරුර ඉතා ඉක්‌මණින් කෙට්‌ටුවීම, හිසකෙස්‌ අසාමාන්‍ය ලෙස ගැලවී යැම, අධික ලෙස රුධිරය පිටවීම වැනි රෝග ලක්‍ෂණත් මතුවේ.

අප මෙසේ පවසන්නේ ඇතැම් කාන්තාවන් තම ඔසප් චක්‍රයේ අක්‍රමවත් බවක්‌ ඇති වුණොත් ඔසප්වීමේදී අධික වේදනාවක්‌ ඇති වන විට තමාට පිළිකාවක්‌ තිබේ යෑයි කියා අනවශ්‍ය ලෙස බිය වීමයි.

ඔසප්වීමේදී ඇතිවන වේදනාව නැතිකර ගැනීම පහසුය. ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස්‌ ලබාගෙන පවතින මානසික පීඩනය නැතිකර ගෙන සැහැල්ලුවෙන් සතුටින් දිවි ගත කළ යුතුයි.

ඇතැම් කාන්තාවන් මෙම වේදනාව පාලනය කර ගැනීම සඳහා හෝමෝන පෙති වර්ග ගැනීමට සහ වේදනා නාශක ඖෂධ ගැනීමට යොමුවේ. මෙවැනි කටයුතුවල දිගු කාලයක්‌ යොමුවීමෙන් ඇයගේ සිරුර ඊට හුරුවිය හැකියි. එවිට සිදුවන්නේ එම ප්‍රතිකාර නොමැතිව සාමාන්‍ය ඔසප් වීමක්‌ සිදු නොවීමයි. මෙය එතරම් හොඳ පුරුද්දක්‌ නොවෙයි.

වෛද්‍යවරුන් ලෙස අප කළ යුත්තේ සිරුරේ ස්‌වභාවික ක්‍රියාවලිය සිදුවීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමයි. ආයුර්වේදයේ එය ඉතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

වේදනාවෙන් තොර ක්‍රමවත් ඔසප් චක්‍රයක්‌ ඇතිකර ගැනීම සඳහා කාන්තාවන් විශේෂයෙන්ම මුං ඇට, කජු, රටකජු, කඩල, කවුපි වැනි ධාන්‍ය වර්ග ආහාරයට ගත යුතුයි.

එළකිරි, පලාවර්ග, පලතුරු හැකිතාක්‌ දුරට දිනපතා ආහාරයට එක්‌කර ගැනීමට අවධානය යොමු කළ යුතුයි.

වර්තමානයේ බොහෝ කාන්තාවන් විශේෂයෙන් තරුණියන් ක්‍ෂණික ආහාර පාන ගැනීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි. ඇතැම් විට එය විලාසිතාවක්‌ ලෙසත් ඔවුන් සිතයි. මෙම වැරදි පුරුදුවලින් මිදී පිෂ්ඨය, මේදය, ප්‍රොaටීන් සහිත මධුර සහ ශීත ගුණයෙන් යුත් ආහාර පාන වර්ග වැඩිපුර ආහාරයට ගත යුතුයි.

මානසික පීඩාවෙන් මිදීම සඳහා ආගම දහම අනුව කටයුතු කිරීමට පුරුදු විය යුතුයි. දවසේ එක්‌ මොහොතක්‌ භාවනා කරමින් සිත එක්‌තැන් කර ගැනීමටත් සැහැල්ලු මනසින් ජීවත්වීමටත් හුරුවිය යුතුයි.

ආචාර්ය වෛද්‍ය දයානි සිරිවර්ධන
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ
ප්‍රසව හා නාරි රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





    

0 comments:

Post a Comment