Friday, August 26, 2016

බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් කරුණු දැනගන්න.

බුදු දහම යනු කුමක්ද? නිර්මල දහම ගැන ඔබත් මේ දහම් කරුණු දැනගන්න.
මේ ලෝකයේ බොහෝ ආගම් වර්ග තිබෙනවා.  මේ ආගම් වර්ග සම්බන්ධයෙන් විවිධ වූ පුද්ගලයන්ට තියෙන්නේ විවිධාකාර අදහස්.  තම තමන්ගේ අසහනයෙන් පිරුණු පීඩාකාරී ජීවිත වලට යම් සහනයක් සොයාගන්නා බලාපොරොත්තුවෙන් තමයි මිනිසුන් ආගමක් ඇසුරු කරන්නේ.  හැම දෙනාම සොයන්නේ සතුටයි.  බටහිර වුවත්, පෙරදිග වුවත්, ආබාධ සහිතවූවෙක් වුවත්, අබාධයක් නැත්තෙක් වුවත් සැමදෙනාටම අවශ්‍ය කරන්නේ සැම මොහොතකම සතුටෙන් ඉන්නයි.  ඒත් අවාසනාවකට වගේ එය කරගන්නට අපහසු දෙයක්.  ඒ නිසා සියලු දෙනාම සතුට වෙනුවෙන් මානසිකව බඩගින්නේ තමයි සිටින්නේ.
අන්න ඒ නිසා මේ අසහනකාරී තෘප්තියක් නැති හැඟීමෙන් නිදහස් වෙන්නට මිනිසුන් ආගමක් තුලින් පිළිතුරු සොයනවා.  ඒ අතරින් යමෙක් යම් දෙවිකෙනෙක් හෝ වේවා යම් විශ්වාසයක් තුලින් හෝ තාවකාලික සැනසීමක් ලබනවා.  සමහර කෙනෙක් මේ සියලු ආගම් කිසි වැඩකට නැති දේවල් විදියට සලකනවා.  සමහර කෙනෙක් කිසිම දෙවිකෙනෙක් හෝ වේවා ආගමක් දහමක් ගණනකටවත් ගන්නේ නැති කිසිම විශ්වාසයක් නැති පිරිසක් වෙනවා.  ගැටලුවක් නෑ... එය තමයි මේ ලෝකයේ විවිධත්වය... තම තමන්ගේ විශ්වාසයන් අනුව කටයුතු කරගැනීමට සෑම දෙනාටම අයිතියක් තියෙනවා!
ඉතින් මේ වෙබ් අඩවිය තුලින් මූලික වශයෙන්ම ඔබට අවස්ථාව සැලසෙන්නේ තවත් ප්‍රකට දාර්ශනික ඉගැන්වීමක් ඇසුරු කරන්නටයි.  එයට අපි කියන්නේ "බුදුදහම" කියලයි.  "බුද්ධාගම" ලෙසින් ආගමක් වශයෙනුත් මේ වන විට ප්‍රකටව තිබුණත් ඇත්තටම මෙය ආගම් කොටසට ඇතුලත් කරන්නට හැකි දෙයක් නෙවේ.  එය සැබෑම සතුට සහ සාමය තෘප්තිමත්භාවය ඇතිකරගෙන ජීවත් වන ක්‍රමයක් පෙන්වා දෙන ඉගැන්වීමක්.  සියලු අසහනයන්, පීඩාකාරී තත්වයන්, තෘප්තියක් නැති ස්වභාවයන්, ආතතිය ආදී සියලුම ආකාරයේ මානසික පීඩාවන්ට මානසිකව ඇතිවන දුක්ඛිත තත්වයන්ට සහනය සලසා දෙන මනෝප්‍රතිකාර ක්‍රමයක් කිව්වත් වරදක් නෑ.  එහෙත් එය මානසික තත්වයට පමණක් නොනැවතී කායික වශයෙනුත් සහනය ලබාදෙන ක්‍රමයක්.
ඔබ ආගම්වාදියෙක් වුවත්, භෞතිකවාදියෙක් වුවත්, විශ්වාස කරන්නෙක් වුවත්, නොකරන්නෙක් වුවත් ඔබගේම මනස ක්‍රියාත්මක වන ආකාරය දැනගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා.  ඔබ ඔබගේ මනස නිසියාකාරව හඳුනන්නේ නැතිතාක් ඔබ මානසික වශයෙන් සුවපත් වූවෙක් බව ඔබ විශ්වාසකරනවා පමණයි.  යථාර්ථය තමයි ඔබ සැබෑවටම මානසිකව රෝගී තත්වයක පෙලෙන්නෙක් කියන කාරණය.  තවත් ආකාරයකට කියනවා නම් සියලුම මානසික අබාධයන්ට ලක්වීමට සුදුසු මානසික පරිසරය ඔබතුල තිබෙනතාක් ඔබ මානසික රෝගී වීමට තිබෙන අවස්ථාව තමයි ඒ තුලින් පෙන්වා දුන්නේ.  ඔබට මානසික රෝගීයෙක් කිව්වාය කියලා මට බැන වදින්න හෝ තරහා වෙන්නට අවශ්‍ය නෑ... මේ තුලින් අදහස් කරන ගැඹුරු අදහස වටහාගැනීම තමයි ප්‍රමාණවත් වෙන්නේ.
අපි අපේම මනස හඳුනන්නේ නැතිව මේ ඇස, කණ, දිව, නාසය, කය කියන්නාවූ පංච ඉන්ද්‍රීයයන්ගෙන් ලබාගන්නා දේ ඔස්සේ ඒවාට ආකර්ශණය වෙලා ඇලී බැඳී කටයුතු කරගෙන යනවා.  ඒවායෙන් අන්ධ වෙලා යථාර්ථය දැකගන්නට නොහැකි තත්වයට පත්වෙලා ඉන්න බව අප නුවණින් දැකිය යුතු වෙනවා.
මරණින් මතු අත්දකින යම් ආශ්චර්යමත් තත්වයක් පිළිබඳව නෙවේ මේ බුදු දහම තුල විස්තර වෙන්නේ.  එයම තමයි එහි තිබෙන සැබෑම වටිනාකම!  මේ ඉගැන්වීම තුල ඔබට කිසිවෙකුගේ අනුගාමිකයෙක් වීමට බලකරන්නේ නෑ.  නොදන්නා නුදුටු ආශ්චර්යමත් ස්වභාවයක් හෝ ඔබව පාලනය කරන්නෙක් පිළිබඳව අදහස් දී බියෙන් හෝ සැකයෙන් යුතුව අන්ධයෙක් වගේ නොදන්නා නුදුටු දෙයක් හෝ කෙනෙක් අනුගමනය කරන්නට මේ බුදු දහම තුල ඔබට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.
බුදු දහම තුල විස්තර වන්නේ ඔබේ ගැටලුවයි.  ඒ ගැටලුව නිර්මාණය වීමට බලපෑ නියමම හේතුව ඒ තුල විග්‍රහවෙනවා.  වැදගත්මකාරණය තමයි බුදු දහම තුල ඒ සියලු ගැටලුවලට විසඳුමක් පෙන්වා දෙනවා.  ඒ විසඳුම මේ ජීවිත කාලය තුලදීම ලැබ ගැනීම පිණිස අනුගමනය කල යුතු දැකිය යුතු මාර්ගයක් පෙන්වා දෙනවා.  කෙටියෙන් කියනවා නම් පොතපතක හෝ යමෙක් විසින් සඳහන් කල දෙයක් බොහෝම පටු මනසකින් ඇසුරු කරනවා වෙනුවට තම තමන්ගේම නුවණින් විමසා බලා ප්‍රඥාවන්තව තමන්වම පරීක්ෂණයට ලක්කරන ක්‍රමයක් මේ බුදු දහම තුල පෙන්වා දෙනවා.
තම තමන්ගේ ප්‍රශ්ණ ගැටලු විසඳාගැනීම පිණිස නුදුටු නොදන්නා තත්වයකට හෝ යම් පුද්ගලයෙකුට හෝ කිසිවෙකුට යාඥා කරන්නට හෝ අයදින්නට හෝ ඉල්ලීම් කරන්නට යොමුකරන ක්‍රමයක් නොවේ බුදු දහම තුල තිබෙන්නේ.  බුදු දහම ලෝකයට හඳුන්වාදෙන්නේ සම්මා සම්බුද්ධ කියන්නාවූ තත්වය දරන්නාවූ සම්මා සම්බුදුවරයෙක් විසිනුයි.  මේ වන විට බුදු දහමේ ගුරුවරයා වශයෙන් තමයි මේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ එහෙමත් නැතිනම් බුදු හාමුදුරුවෝ, බුද්ධ කියන්නාවූ උත්තමයාව හඳුන්වාදී තිබෙන්නේ.
උන්වහන්සේ පෙන්වා දුන්නේ කිසිවෙකුත් කිසි කලක පෙන්වා දෙන්නට යොමුනොවන කාරණයක්.  ඒ තමයි සියලු ගැටලුකාරීතත්වයන් අසහනයන් පීඩාවන් සියලුම ආකාරයේ දුක් ආදිය නිර්මාණය කරගැනීමට තම තමන්ගේ මනස මුල්වන ආකාරය පෙන්වා දී අපගේ මනසේ සැබෑම ක්‍රියාකාරිත්වය සොයාගෙන ඒ සියලු ගැටලුවලින් විමුක්තිය ලැබීමට, දුකෙන් නිදහස් වීම පිණිස තමන්ගේම මනස සුවපත් කරගන්නා ආකාරය තමයි පෙන්වා දුන්නේ.  සම්මා සම්බුදුවරයෙක් මෙන්න මේ කරුණ පෙන්වා දී පවසන්නේ අපගේ ගැටලුවලද අප විසින්ම පිලිතුරු සපයාගත යුතු බවත් තම තමන්ව ගලවාගැනීමට බාහිරයේ කිසිදු ගැලවුම්කාරයෙකු නොවන බවත් බාහිරයෙන් යැපෙන්නෙක් බවට පත්නොවී තම තමන් විසින්ම තම තමන්ගේ ගැලවුම්කාරයා බවට පත්වී යහපත උදාකරගත යුතු බවයි. 
සම්මා සම්බුදුවරයෙක් පෙන්වාදෙන ධර්මය නැමැති බුදු දහම තුල ගැබ්වෙලා තියෙන්නේ සත්වයාගේ සැබෑම ක්‍රියාකාරිත්වය සහ ඒ ඒ මනසේ, සිතේ යම් යම් දෑ කිරීමට ඇති හැකියාව ආදී මනසේ නියම ප්‍රමාණයයි.  මේ ධර්මය තුලින් අවබෝධයට පත්වී දියුණුව ලබන ඔබට බාහිරයේ ආශ්චර්යමත් හෝ නොපෙනෙන කරුණු මත පදනම් විරහිතව කටයුතු කරනවා වෙනුවට තම තමන්ගේ සියලුම ආකාරයේ දුක් නසාගැනීමට අවශ්‍ය කරන මානසික පසුතලය තමන් තුලින්ම මතුවෙන්නට පටන්ගන්නවා.  මේ ඉගැන්වීම තුලින් ඔබට ඔබ ගැනම සාර්ථක අධ්‍යනයක් සිදුකර "මම" කව්දැයි යන්න නිසි ලෙසින් තෝරාගැනීමටත් ඒ සම්බන්ධ සියලුම කරුණුත් තමන්ගේම නුවණින් දැකගැනීමට හැකියාවක් ලැබෙනවා.
බොහෝමයක් ආගම් සහ ඇදහිලි විශ්වාසයන් ආදිය ප්‍රකට වෙලා තියෙන්නේම ඒවා තුල යම්කිසි නොපෙනෙන් බාහිර බලවේගයක් විසින් ඔබගේ ගැටලු විසඳීමට ඔබ විසින්ම භාර කර දී ඇති ස්වභාවය නිසාමයි.  කෙටියෙන් කියනවා නම් ඔබ ඔබගේ ප්‍රශ්ණ ගැටලු විසඳාගැනීමට සෘජුව වගකීම නොගෙන තම තමන්ගේ වැරදි අනුන්ට පටවන ස්වභාවයක් සහ ඒවා විසඳාදීමටද බාහිර කෙනෙක් ඉදිරිපත් විය යුතුයි යන බොහෝම අලස ක්‍රමයක් තමයි බලාපොරොත්තුවෙන්නේ.
බැලූ බැල්මට නම් දැකගන්නට තියෙන්නේ නොපෙනෙන යම්කිසි ආශ්චර්යමත් අදෘශ්‍යමාන බලවේගයක් විසින් තමන්ව පාලනය කරනවා දැකීමට හෝ තමන්ගේ ගැටලු විසඳා ගැනීම පිණිස ඒ මත යැපීමට බොහෝමයක් පිරිස සැබැවින්ම කැමැත්තෙන් සිටින බවයි.  තමන්ගේ ගැටලුවලට දුක් වලට තමන් විසින්ම වගකීම ගැනීමට ඇති අකමැත්ත තමයි මේ තුල ප්‍රකට වෙන්නේ.
අනෙකුත් ආගම් ඇදහිලි විශ්වාස ක්‍රම මෙන් නොව බුදු දහම තුල තමන්ගේ වගකීම තමා විසින්ම ගත යුතු බවත් ඒ වෙනුවෙන් තමන්වම සොයාගෙන විසඳුම සලසාගත යුතු බවත් පෙන්වාදීමට තමයි උනන්දු කරවන්නේ.  ඉතින් කෙටියෙන් කියනවා නම් බුදු දහම තුල තමන් විසින් කරගත යුතු දෑ බොහෝමයි.  බුදු දහම තුල ලැබෙන්නේ මඟ පෙන්වීමක් පමණයි... බාහිර බලවේගයක් විශ්වාස කරගෙන තමන්ගේ ගැටලුවලට විසඳුම් ලැබෙන තුරු සැනසීමක් ලැබෙන තුරු මුවඅයාගෙන බලාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම ප්‍රඥාවන්තව කරගත යුතු වැඩපිලිවෙලක් බුදු දහම තුල විග්‍රහ වෙනවා.  මෙන්න මේ නිසා ඒ සැනසීම සතුට වෙනුවෙන් තම තමන්ට කරන්නට තියෙන කොටස ප්‍රමාණයෙන් ගත් කල බුදු දහම තුල වැඩි බවක් දක්නට තියෙනවා.
සම්මා සම්බුදුවරයෙක් අපට පෙන්වා දෙන්නේ තම තමන් විසින්ම නිර්මාණය කරගත්තාවූ ප්‍රශ්ණ සමූහයකට, තම  තමන් විසින්ම පටලවාගත්තාවූ අවුල්ජාලයකට තම තමන් විසින්ම විසඳුම සොයාගත්තේ නැතිනම් බාහිරයේ කිසිවෙකුටත් ඒවාට විසඳුම් දීමට නොහැකි බවයි.  අනෙකුත් ආගම් ඇදහිලි විශ්වාසයන් තුලත් අනිවාර්යෙන්ම යම්කිසි සැනසීමක් විසඳුමක් ලබාදෙන බවට පොරොන්දුවක් තියෙනවා.  ඒ සෑම විශ්වාසයකටම ආගමකටම ඇදහිල්ලකටම ඉතාමත් ගෞරවයෙන් යුතුව මට කියන්නට තියෙන්නේ අප මේ ප්‍රශ්ණය දෙස මීට වඩා ගැඹුරින් විවෘත මනසකින් යුතුව සිතීම තම තමන්ගේ සැබෑම යහපත පිණිස හේතු වෙනවා යන්නයි.  අප සැබැවින්ම මානසික වශයෙන් රෝගී තත්වයක පසුවෙනවාද යන්න සොයාගැනීම පිණිස සැබැවින්ම අප කැපවිය යුතු වෙනවා.  නැතිනම් එය නොදන්නා පිළිකාවක් තමන් තුල වැඩෙනවා සේ යම් මොහොතක තමන්ව විනාශයට පත්කරන්නට හේතු යෙදෙනවා.
අනෙකුත් සෑම ආගමක විශ්වාසයකම ඇදහිල්ලකම පාහේ දක්නට ලැබෙන්නේ බොහෝම තාවකාලික විසඳුම්.  මරණින් මතු ලැබෙන ස්ථිර සුවයක් පිළිබඳව විස්තර වෙනවා මිස මේ ජීවිතකාලය තුලදී අත්කරගතහැකි ස්ථිර විසඳුමක් පිළිබඳව නිවැරදිව අර්ථ දැක්වෙන්නේ නෑ.  එහෙත් බුදු දහම තුලින් ඔබ ප්‍රඥාව ලබාගන්නා මට්ටමින් ඔබට ඒ ඒ ආගම් විශ්වාසයන් තුලින් පවා මේ ස්ථිර විසඳුමට හේතු උපකාර වන්නාවූ බොහෝ දෑ ඇසුරු කරන්නට ලංකරගන්නට හැකිවෙනවා.  අන්න ඒ නිසාම තමයි බුදු දහම ඇසුරු කරන කෙනෙකුට තම තමන්ගේ ආගම් විශ්වාසයන් ඇදහිලි ක්‍රම ආදිය අතහැර දමා බාහිරයට පෙනෙන ආගම් වෙනස්කිරීමකට ලක්වීමක් සිදුනොවෙන්නේ.
තම තමන්ගේ ගැටලුවලට අදාල ස්ථිර විසඳුම බාහිරයට පෙනෙන දෙයක් නෙවේ.  බාහිරයේ යම් අදෘශ්‍යමාන බලවේගයකට පවා හඳුනාගත හැකි දෙයක් නොවේ.  එසේ හඳුනාගත හැකි නම් මේ වන විට ඒ ස්ථිර විසඳුම ලැබූවන් ලොව බහුල විය යුතු වෙනවා.  එහෙත් එය එසේ නොවන බව ඔබටම දැකගන්නට හැකි කාරණයක්.
අවාසනාවකට මෙන් බුදු දහමත් මේ වන විට තවත් එක් ආගමක් බවට පරිවර්ථනය වෙමින් පවතිනවා.  බෞද්ධයා කියන්නාවූ බුදු දහම ඇසුරු කරන පිරිසද යම් වත් පිළිවෙත් සමූහයකට පමණක් මුල්තැන දී යම් අදෘශ්‍යමාන බලවේගයකට යාඥා කරන්නාවූ ක්‍රමයක්ම අනුගමනය කරමින් බුදු දහමේ හරය මඟහරවා ගනිමින් පවතිනවා.  එහි ප්‍රථිපලයක් වශයෙන් මේ වන විට බෞද්ධයා කියන්නාවූ පුද්ගලයාද බාහිරයෙන්ම යැපෙන බාහිරයෙන්ම විසඳුම් සොයන්නාවූ තාවකාලිකව විසඳුම් ලබා සැනසෙන්නාවූ පුද්ගලයෙක් බවට පත්වී තිබෙනවා.  ඒ අයත් තම තමන්ගේ රෝගී වූ මනස හඳුනාගන්නට අපොහොසත් වී තිබෙනවා.
ඉතින් මේ වෙබ් අඩවියේ ප්‍රධානතම අරමුණ තමයි බුදු දහමේ හරය වන සෑබෑම ගැඹුරු ධර්මය සරලව මතුකරදෙමින් ඕනෑම කෙනෙක්ගේ ජීවිත වලට ලංකරගෙන යහපත් ප්‍රතිඵල ලබාගත හැකි ආකාරය පෙන්වාදෙමින් මිනිසෙක් වශයෙන් තවත් මිනිසෙකුට උපකාරයක් වීම.  සම්මා සම්බුදු කෙනෙක් නිතරම පෙන්වා දෙන්නේ "එන්න, තමන් විසින්ම තමන්ගේම නුවණින් විමසා මේ දේවල් දැකගන්න... බාහිරයෙන් යැපෙන එක නතර කරන්න" යන්නයි.  ඉතින් මේ වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය ඔබට ආරාධනාකරන්නේද ඒ සඳහාමයි.
ඔබ ප්‍රඥාවන්තබව ඔබ හඳුනාගත යුතුයි.  බාහිරයේ නොදුටු අදෘශ්‍යාමාන බලවේගයකට වඩා ඔබගේ මනස තුල ඔබට පිහිට විය හැකි තත්වයක් තිබෙන බව ඔබ දැකගත යුතුයි.  ඔබගේ මනසේ සැබෑම ශක්තිය ඔබ විසින් අත්දැකිය යුතුයි.  එය ඔබ විසින්ම කරනොගන්නාතාක් ඔබගේ ගැටලුවලට පීඩාවන්ට අසහනයන්ට හෝ කිසිදු කායික මානසික දුකකට සැබෑම ස්ථිර විසඳුමක් පිළියමක් ඔබට ලැබගන්නට හැකියාවක් ලැබෙන්නේ නෑ.
එසේ වූ විට ඔබ කරන්නේ ඔබේ තුවාලයකට බාහිරයෙන් පැලැස්තර අලවමින් සිටිනවා වගේ වැඩක් මිස නියම ප්‍රතිකර්මය නෙවේ.  නියම ප්‍රතිකර්මය සිදුනොවුනොත් ඔබම දන්නවානේ වෙන්න හැකි විනාශය... ඔබේ පුංචි තුවාලය වුනත් ඔඩු දුවලා පැතිරිලා ඔබව විනාශ කරන්නට තරම් ප්‍රබල හේතුවක් බවට එය පත්විය හැකියි.  සිදුවන්නේත් එයමයි.  එහෙත් එය දැකගැනීමට අප බොහෝ දෙනෙක් අපොහොසත් වී සිටිනවා.
ඉතින් ඔබ විසින් ඔබගේම මනස ප්‍රඥාවන්තව අධ්‍යනය නොකරන තාක් ඔබට යථාර්ථය පිළිබඳ කිසිදු අදහසක් නැතිව යතාර්ථය යැයි වෙනමම තත්වයකට රැවටිලා තමයි කටයුතු කරගන්නට වෙන්නේ.  ඔබ ඔබගේම මනස අධ්‍යනය නොකර "මම මෙහෙමයි"... "මම අරහෙමයි"... "මගේ සිත මෙහෙමයි..." ආදී කුමන ආකාරයකින් කතා බහ කලත් ඔබ සැබෑවටම ඔබගේ මනසේ ක්‍රියාකාරිත්වය දැනගෙන නොවේ කතා කරන්නේ.  ඒ නිසාම ඔබට කවදාවත් ඔබගේ ආත්මාර්ථකාමී මමත්වයෙන් යුතු විනාශකාරී පීඩාකාරී මානසික රෝගී තත්වය දැකගන්නට නොහැකි වෙනවා.  ඒ තුලම ඔබටත් නොදැනී ඔබ අසහනයට පත්වෙනවා.
ඉතින් මේ පරීක්ෂණය කරගැනීම මාර්ගය පාදාගැනීම පිණිස විවෘත මනසකින් යුතුව කටයුතු කලොත් ඔබට බුදු දහමේ නියම හරය දැකගන්නට හැකිවේවි.  එහි නියම අර්ථය තුලින් ඔබට යහපත් උදාකරගන්නට ඔබට හැකිවේවි.  තෙරුවණේ ආශිර්වාදයෙන් ඔබට ඒ සෙවීම සාර්ථක කරගැනීමට බුදු දහම උපකාර කරගැනීමට හැකිවෙත්වා යැයි පතමි!!!
ඉතින් අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ www.nirvanadhamma.com/lk කොටසේ සිංහල භාෂාවෙන් නන් අයුරින් විස්තර විග්‍රහ වන කොටස් තුල ඔබගේ යහපත උදාකරගැනීම පිණිස ප්‍රඥාව වර්ධනය කරගැනීම පිණිස සටහන් වී තිබෙන්නේ මොනවාදැයි සොයා බලන්නට ඔබට අවස්ථාව තිබෙනවා!!!
මෙම පිටුව බෙදාගන්න

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





0 comments:

Post a Comment