Saturday, August 27, 2016

කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔබ කෙට්ටු වෙන්න හේතු.

කෙට්ටු අය දන්නවද? ඔබ කෙට්ටු වුනේ ඇයි කියලා මෙන්න ඔබ කෙට්ටු වෙන්න හේතු.
ජස්ටින් ඕනෑවට වඩා මහතත් නැහැ, කෙට්ටුත් නැහැ. ඔහුට හොඳ සෞඛ්‍යයකුත් තිබෙනවා. නමුත් ඔහුගේ පෙනුම ගැන ඔහු සෑහීමට පත් වන්නේ නැහැ. “මං ආසයි මම තව ටිකක් මහත් වෙනවා නම්” කියා ඔහු පවසනවා. ඒ නිසා ඔහු දැන් දිනකට කැලරි 4,000ක් අඩංගු ආහාර වේල් පහක්ම අනුභව කරනවා. නමුත් ඔහු නිකම්ම මහත් වෙනවාට නම් කැමති නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ මාංශ පේශී වර්ධනය කරගැනීමෙන් හැඩිදැඩි සිරුරක් ඇති කරගන්නයි. “මං සමහර දවස්වලදී වැඩට යන්න ඉස්සෙල්ලා පාන්දරින්ම නැඟිටලා මගේ යාළුවෙක් එක්ක බර ඉසිලීමේ ව්‍යායාම් කරන්න යනවා” කියා ඔහු තමා දරන උත්සාහය ගැන විස්තර කරනවා.

ව’නෙසාත් තරමක් කෙට්ටුයි. නමුත් ඇය නම් ඇගේ පෙනුම ගැන සෑහීමකට පත් වෙනවා. “මං පොඩි කාලේ අනිත් ළමයි මට ‘කෝටු කිතයියා’ කියලා විහිළු කළා. මට ඒ වගේ අවස්ථාවලදී ටිකක් දුක හිතුණා. හැබැයි දැන් නම් මට ඒ ගැන ගානක්වත් නැහැ. මගේ පෙනුම ගැන මම සෑහීමකට පත් වෙලයි ඉන්නේ” කියලා ඇය පවසනවා.

‘ඔබේ පෙනුම ගැන සෑහීමකට පත් වෙන්න.’ ඒක හොඳ උපදෙසක් වුණත් පිළිපදින එක නම් හිතන තරම් පහසු නැහැ. මෙයට හේතු කිහිපයක් තිබෙනවා. ඔබ නහඹරයෙක් වශයෙන් ‘යෞවනයේ මල් පූදින’ කාලය පසු කරමින් සිටිනවා ඇති. (1 කොරින්ති 7:36, NW) ඒ වගේම ඔබ යෞවනෝදයට පා තබමින් සිටිනවා නම් එය විශේෂයෙන්ම ව්‍යාකූල කරවන අද්දැකීමක් විය හැකියි. මන්ද වෙන කිසිම අවධියකදී සිදු නොවන ශීඝ්‍ර ශාරීරික වර්ධනයක් ඔබට දැන් අද්දකින්න සිදු වන නිසයි. ඔබේ ශරීරයේ අවයවවල වර්ධන වේගය එකිනෙකට වෙනස් විය හැකියි. ඒ නිසා ඔබේ අතපය සිරුරේ ප්‍රමාණයට ගැළපෙන්නේ නැති බවත්, මුහුණේ අසාමාන්‍ය හැඩරුවක් ඇති බවත් ඔබට හැඟෙන්න පුළුවන්.* ඔබට මේ නිසා ලැජ්ජාවක් ඇති විය හැකියි. ඒ වගේම ඔබ මේ ගැන කලකිරීමෙන් සිටිනවා විය හැකියි. නමුත් ඉස්මතු විය හැකි තවත් ගැටලුවක් තිබෙනවා. සෑම නහඹරයෙක්ම එකම වේගයෙන් වර්ධනය වෙන්නේ නැති නිසා ඔබ ඇසුරු කරන තරුණයන්ට හැඩිදැඩි සිරුරක් හෝ තරුණියන්ට රූමත් පෙනුමක් තිබියදී ඔබ තවමත් කෙට්ටුයි වගේ පෙනෙන්න පුළුවන්. එවිට ඔබට අපහසුතාවක් දැනෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් තරබාරුකම හේතුවෙන් තරුණ අය අද්දකින ගැටලු ගැන තොරතුරු රැසක් තිබුණත්, කෙට්ටු අය අද්දකින ගැටලුවලට වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඇත්තෙන්ම සමහර රටවල කෙට්ටු පුද්ගලයන්ව සලකන්නේ පෙනුමෙන් අඩු අය හැටියටයි. එමනිසා එවැනි ප්‍රදේශවල, තරුණියක් “කෙට්ටු” නම් ඇය අවමන්සහගත විහිළුවලට පවා ලක් වෙන්න ඉඩ තිබෙනවා.

තරුණයන් ගැන කුමක් කිව හැකිද? පර්යේෂක සූසන් බොර්ඩෝ මෙලෙස අදහස් දක්වනවා. “එක්දාස් නවසිය අසූ ගණන්වලට කලින් කළ අධ්‍යයනවලින් හෙළි වූයේ කාන්තාවන් තමන්ගේ රූපය දෙස කැඩපතකින් බැලුවාම නිතරම යම් දෝෂයක් දුටු බවයි.” පිරිමින්ගේ තත්වය කුමක්ද? “පිරිමින් කැඩපත දෙස බැලුවාම සිතුවේ තම රූපයේ වරදක් නැහැයි කියලයි. ඒ තරම්ම හොඳ පෙනුමක් නොතිබුණත් තමන්ට කඩවසම් පෙනුමක් තිබුණා කියලා හිතුව අය පවා සිටියා” කියා බොර්ඩෝ පවසනවා. නමුත් මෑත වසරවලදී නම් තත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. තමන්ගේ රූපය වඩාත් ලස්සන කරගැනීම සඳහා සැත්කම් කරන අයගෙන් සියයට විසිපහක්ම පිරිමි අය බව බොර්ඩෝ පෙන්වා දෙනවා. දැන් තරුණයන් තමන්ගේ පෙනුම ගැන දක්වන උනන්දුව එන්න එන්නම වැඩි වෙන අතර, මෙයට මහත් සේ හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ හා වෙනත් බටහිර රටවල පෙන්වන වෙළඳ දැන්වීම් බව ඇය ප්‍රකාශ කරයි. ඒ ඇයි? එම වෙළඳ දැන්වීම්වල නිතරම පෙන්වන්නේ “නියම” පිරිමි පෙනුමක් ඇති කඩවසම් ඇඳුම් නිරූපකයන්. ඉතිං මෙවැනි දේවල් දකින තරුණයන්ට ඇති වන බලපෑම කුමක්ද? ඇඳුම් නිරූපකයන්ට තරම් හැඩිදැඩි සිරුරක් තමන්ට නැති නිසා තමන්ගේ රූපයේ යම් අඩුවක් නැත්නම් දෝෂයක් ඇති බව ඔවුන්ට හැඟෙන්න පුළුවන්.

එමනිසා ඔබ කෙට්ටු පුද්ගලයෙක් නම් ‘මම මෙච්චර කෙට්ටු ඇයි’ කියා ඔබත් කල්පනා කරනවා ඇති. නමුත් කලබල වෙන්න එපා. සමහරවිට ඔබ කෙට්ටු වීමට සාධාරණ හේතුවක් තිබිය හැකියි.

කෙට්ටු වීමට හේතු

කෙට්ටු තරුණ තරුණියන් බොහෝදෙනෙක් සිටිනවා. ඇත්තෙන්ම කෙට්ටු වීම අසාමාන්‍ය දෙයක් නොවෙයි. ළමා කාලයේ සිට තරුණ කාලයට පා තබන විට ශරීරය තුළ නොයෙක් විපර්යාසයන් සිදු වෙනවා. ඒ වගේම ශරීරයේ වර්ධන වේගය සෑහෙන දුරට වැඩි වෙනවා. මෙය සමහරවිට කෙට්ටු වීමට හේතු වෙන්න පුළුවන්. නමුත් මෙවැනි වෙනස්කම් දිගටම ඇති වන්නේ නැති නිසා ටික කාලයකට පසුව තත්වය වෙනස් විය හැකියි. සමහරවිට ඔබ පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්නවා ඇති. ඒත් ඔබේ ශරීරය ඕනෑවට වඩා කෙට්ටු නම්, වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි. සමහරවිට ඔබට දියවැඩියාව වැනි ශරීරය කෙසඟ කරවන සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා විය හැකියි.

ආහාර ගැනීමේ අක්‍රමිකතා පිළිබඳ වෛද්‍ය විශේෂඥයෙක් වන ස්ටීවන් ලෙවෙන්ක්‍රොන් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “එක සැරයක් මං ගාවට තරුණියක් ආවා. එයා හරිම කෙට්ටුයි. එයාව මං ගාවට එවපු දොස්තර කියලා තිබුණේ එයාට ඇනරෙක්සියා කියන ලෙඩේ තියෙනවා කියලයි. එයාව දැක්ක ගමන්ම මටත් එහෙම හිතුණා. හැබැයි මම ඉක්මනටම තේරුම්ගත්තා එයාට එහෙම ලෙඩක් නැහැයි කියලා. එයාගේ ලෙඩේ ශාරීරික එකක් මිසක මානසික එකක් නෙවෙයි. එයාට තිබුණේ ක්‍රෝන්ස් ඩිසීස් කියන බඩවැල්වලට සම්බන්ධ බරපතළ ලෙඩක්. එයාගේ පවුලේ දොස්තරට ඒක හොයාගන්න බැරි වෙලා. හැබැයි ලෙඩේ හොයාගත්තේ නැත්නම් මේ තරුණිය මැරෙනවා.” ඔබට දියවැඩියාව එහෙම නැත්නම් ඔබේ බර අඩුවීමට හේතු වන වෙනත් ලෙඩක් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අකුරටම පිළිපැදීම නුවණට හුරුයි.

අනෙක් අතට, කෙට්ටු වීම යම් සිත්තැවුලක් හේතුවෙන් සිදු වෙන්න පුළුවන්. ඇනරෙක්සියා තේරුම්ගැනීම (ඉංග්‍රීසියෙන්) යන තම පොතෙහි වෛද්‍ය ලෙවෙන්ක්‍රොන් පර්යේෂකයන් කිහිපදෙනෙකුගේ අදහස් ගෙනහැර දක්වමින් මෙසේ කියයි. “ඉන්සියුලින් මත යැපෙන දියවැඩියා රෝගීන් සෑහෙන සංඛ්‍යාවකට ආහාර ගැනීමේ අක්‍රමිකතා තිබෙනවා. සීමාවක් නැතුව ආහාර ගැනීමේ රෝගය වගේම බුලිමියා හා ආහාරවලට අරුචියක් ඇති කරවන ඇනරෙක්සියා වැනි රෝග පවා ඔවුන්ට තිබුණ බව හෙළි වුණා.” එවැනි අක්‍රමිකතාවක් තිබෙනවාද නැද්ද කියා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුට නිර්ණය කළ හැකියි.*

ප්‍රායෝගික උපදෙස් ටිකක්

ඔබ කෙට්ටු වුණත් නිරෝගී බව වෛද්‍ය පරීක්ෂණයකින් හෙළි වුණොත් කුමක් කළ යුතුද? යෝබ් 8:11හි මෙසේ පවසයි. “මඩ නැති තැන පන් වැවේද? වතුර නැතුව මහ පන් වැඩේද?” ඔව්, පැළයක් හොඳින් වර්ධනය වන්නේ, සුදුසු පරිසරයක් තුළ වැඩෙමින් එයට නියම පෝෂණයක් ලැබුණොත් පමණයි. ඒ හා සමානව, නිරෝගී වැඩිහිටියෙක් බවට පත් වෙන්න නම් ඔබ සමබර ආහාර වේලක් ගන්න අවශ්‍යයි. ඔබ බර අඩු කරගන්න වෑයම් කළත් බර වැඩි කරගන්න වෑයම් කළත් මෙය වැදගත් වෙනවා.

හැබැයි බලාගෙනයි! ඉක්මනට බර වැඩි කරගැනීමේ අදහසින් මේදය බහුල ආහාර විශාල ප්‍රමාණයක් කෑවොත් සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දෙන්න සිදු වෙයි. කාය වර්ධන පුහුණු වීම්වලට සහභාගි වන අය ගන්නා ආහාර පිළිබඳව පෝෂණවේදී සූසන් ක්ලයින කළ අධ්‍යයනයකින් හෙළි වූයේ ඔවුන් දිනකට කැලරි 6,000ක්ම අනුභව කරන බවයි! නමුත් “භයානක දේ තමයි ඔවුන් දළ වශයෙන් දිනකට මේද ග්‍රෑම් 200ක් ආහාරයට ගැනීම. ඒක හරියට එකපාරටම බටර් (ග්‍රෑම් 250ක) පැකට්ටුවක්ම කනවා වගෙයි! ඒ තරම් මේද ප්‍රමාණයක් දෙතුන් වතාවක් කෑවොතින් අසනීප වෙන්න පුළුවන්. එහෙම නම්, දීර්ඝ කාලයක් පුරා කෑමෙන් ඇති විය හැකි ප්‍රතිඵල ගැන සිතා බලන්න. එය හෘදයාබාධයකට මඟ පාදන බවට කිසිම සැකයක් නැහැ!”

අමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික දෙපාර්තමේන්තුවට (USDA) අනුව, සමබර ආහාර වේලක් මූලිකවම සකස් වන්නේ පාන්, ධාන්‍ය වර්ග, බත් හා පැස්ටා වැනි පිෂ්ටය අඩංගු ආහාරවලිනුයි. එළවළු හා පලතුරුවලට දෙවනි ස්ථානය හිමි වෙයි. මස් වර්ග හා කිරිවලින් සාදන ලද ආහාර ඕනෑවට වඩා අනුභව නොකරන්න කියා USDA නිර්දේශ කරනවා.

ඔබ කන බොන දේ, කන ප්‍රමාණය හා කන වෙලාව පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතුයි. ඒ සඳහා ඔබේ සාක්කුවේ දාගෙන යා හැකි සටහන් පොතක් තියාගෙන ඒ සෑම දෙයක්ම සතියක් පුරා සටහන් කරගන්න. ඔබ නිතරම එහෙ මෙහෙ දුවන කෙනෙක් නම් ඔබ සිතන තරම් කෑම ප්‍රමාණයක් නොගන්නා බව ඔබට වැටහේවි. ඇත්තෙන්ම ඔබ ක්‍රියාශීලි නහඹරයෙක් නම් ඔබට දිනකට කැලරි 3,000ක්ම වැය විය හැකියි! ඔබ නිතරම පිට්සා, හැම්බර්ගර් වැනි ක්ෂණික ආහාර කන නිසා හා එළවළු හා පලතුරු අඩුවෙන් කන නිසා සමබර ආහාර වේලක් අනුභව නොකරන බවත් මෙවන් පරීක්ෂණයකින් හෙළිවීමට ඉඩ තිබෙනවා.

ආහාරවලට අමතරව පෝෂ්‍ය පදාර්ථවලින් අනූණ මිල අධික කෘත්‍රිම නිෂ්පාදනයක් පාවිච්චි කිරීම හොඳ අදහසක් නෙවෙයිද? ඇත්තෙන්ම මෙය අවශ්‍ය නොවිය හැකියි. පෝෂ්‍යදායි ආහාර ගැනීමෙන් පමණක්ම අපේ ශරීරයට අවශ්‍ය සෑම පෝෂ්‍ය පදාර්ථයක්ම ලබාගත හැකි බවට විශේෂඥයන් අදහස් දක්වනවා. සමහර අය ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමේ අදහසින් ස්ටෙරොයිඩ් හෝමෝන භාවිත කරනවා. මෙය ඉතාම අනතුරුදායකයි. නහඹර වියේ තරුණයන් විතරක් නෙවෙයි තරුණියන් පවා එවැනි ඖෂධ අනිසි ලෙස භාවිත කරන බව හෙළි වී තිබෙනවා. ද නියූ යෝක් ටයිම්ස් පුවත්පත මෙලෙස වාර්තා කරනවා. “දැන් ගැහැනු ළමයින් අතර පවා [ස්ටෙරොයිඩ් හෝමෝන] භාවිතය එන්න එන්නම වැඩි වී තිබෙන අතර, 1980 ගණන්වල පිරිමි ළමයින් විසින් ඒවා භාවිත කළ ප්‍රමාණයටම ඔවුන්ද දැන් ඒවා භාවිත කරනවා. බර අඩු කරගැනීම සම්බන්ධයෙන් අන්තයට යෑමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇනරෙක්සියා වැළඳෙන්නාක් මෙන්, බර වැඩි කරගැනීම සම්බන්ධයෙන් අන්තයට යෑමේදී ස්ටෙරොයිඩ් භාවිතයට පෙලඹෙන්න පුළුවන් බව ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරනවා.” අමෙරිකා එක්සත් ජනපදයේ නහඹර වියේ ගැහැනු ළමයින් 1,75,000දෙනෙක්ම ස්ටෙරොයිඩ් හෝමෝන ගන්නා බව හෙළි වී තිබෙනවා. මෙය ඇත්තෙන්ම භයානක දෙයක්. මන්ද මෙම ඖෂධ ගැනීමත් සමඟම අහිතකර අතුරු ආබාධ රැසක් ඇති වෙන්න පුළුවන් නිසයි. අධික රෝම වර්ධනය, ඔසප් වීමේ රටාව වෙනස් වීම, ස්ත්‍රීන්ට පියයුරු පිළිකාව මෙන්ම පිරිමින්ට පුරස්ථිත පිළිකාව වැළඳීම හා ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම ඇති විය හැකි ධමනිවල ලේ හිරවීම මෙන්ම අක්මාවේ පිළිකාව මෙයට උදාහරණ කිහිපයක් වශයෙන් සඳහන් කළ හැකියි. ස්ටෙරොයිඩ් හෝමෝන කිසිවිටෙකත් වෛද්‍ය නියමයක් නොමැතිව නොගත යුතු බව මතක තබාගන්න.

නිහතමානිකමේ හා යථාර්ථවාදී වීමේ වැදගත්කම

‘දෙවි සමඟ නිහතමානීව ඇවිදින්න’ කියා අපට බයිබලයේ පවසනවා. (මීකා 6:8, NW) නිහතමානි අය තම සීමාවන් හඳුනාගන්නවා. ඉතිං නිහතමානිකම වර්ධනය කරගන්නවා නම් ඔබේ පෙනුම ගැන ඔබට යථාර්ථවාදී ආකල්පයක් වර්ධනය කරගන්න පුළුවන්. ඔබේ පෙනුම ගැන යම් දුරකට උනන්දු වෙන එකේ වරදක් නැහැ. ඒක ස්වාභාවික දෙයක්. හැබැයි ඒකේ අන්තයටම යෑමෙන් නම් වැළකී සිටින්න අවශ්‍යයි. මන්ද විලාසිතා මවන්නන්ට හැර වෙන කිසිම කෙනෙකුට එයින් ප්‍රයෝජනයක් අත් වන්නේ නැති නිසයි. කායික සෞඛ්‍යය පිළිබඳ විශේෂඥයන් පවසන්නේ, පොදුවේ බලද්දී පිරිමින්ට ලෝක ප්‍රසිද්ධ අයෝමය පුරුෂයන් බවට පත්වීමට අවශ්‍ය ජාන නැති නිසා ඔවුන් කොතරම් කෑවත්, කොතරම් කාය වර්ධන පුහුණු වීම්වලට සහභාගි වුණත් වැඩක් වන්නේ නැහැ කියායි. ඒ වගේම, සමහර තරුණියන් ඇඟ මහත් කරගැනීම සඳහා කොතරම් කෑවත් එයින් ප්‍රයෝජනයක් නොවිය හැකියි.

නමුත් ඔබට කරන්න පුළුවන් යමක් තිබෙනවා. ඔබේ පෙනුමේ යම් දෝෂයක් තිබෙනවායයි හැඟෙනවා නම් ඔබ අඳින ඇඳුම්වලින් එවැනි දෝෂ යම් තාක් දුරකට සඟවාගන්න පුළුවන්. ඔබ කෙට්ටු බව කැපීපෙනෙන්න සලස්වන ඇඳුම් ඇඳීමෙන් වළකින්න. කෙට්ටු අය තද වර්ණ අඳින විට තවත් කෙට්ටුයි වගේ පෙනෙන නිසා ඔවුන්ට ළා වර්ණ අඳින්න කියා ඇතමෙකු නිර්දේශ කර තිබෙනවා.

හැබැයි ඔබේ පෙනුමට වඩා වැදගත් වන්නේ ඔබේ පෞද්ගලිකත්වය බව කවදාවත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් කඩවසම් හෝ ශෝභන පෙනුමකට වඩා මිනිසුන්ගේ සිත්ගන්නේ කරුණාවන්ත ස්වභාවයක් හා මිත්‍රශීලි සිනහවක්. එවැනි දේවල් හොඳ ඇඟපතකට හෝ රූ සපුවකට වඩා වටිනා බව ඔබට හැඟෙන්නේ නැද්ද? ඔබේ පෙනුම පිළිබඳව මිත්‍රයන් නිතරම ඔබව විහිළුවට ලක් කරනවා නම්, ඔබේ පෞද්ගලිකත්වය අගය කරන මිත්‍රයන් සමඟ ආශ්‍රය කරන්න. ඔව්, සැබෑ මිත්‍රයන් කියන්නේ ඔබේ ඇතුළාන්තය නැත්නම් බයිබලය පවසන ආකාරයට ඔබේ ‘සිතේ ඇතුල් මනුෂ්‍යයාව’ අගය කරන අයයි. (1 පේතෘස් 3:4) නමුත් වඩා වැදගත් දේ වන්නේ යෙහෝවා අප දෙස බලන ආකාරයයි. ඔව්, ‘මනුෂ්‍යයා අපේ පිටාතර පෙනුම බැලුවත් යෙහෝවා බලන්නේ අපේ සිත’ බව කවදාවත් අමතක කරන්න එපා




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


0 comments:

Post a Comment