Sunday, August 28, 2016

දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.

දෙයියන්ගේ ලෙඩට මෙන්න මේ ශාන්තිකර්මය කරන්න.
 

ලාංකේය සිංහල බෞද්ධ ජන සමාජය අති විශිෂ්ට ඉතිහාසයක් ඇති ඉතාමත් පැරැණි නිර්මල සංස්කෘතියකින් යුත් ජනතාවකගෙන් හෙබි සමාජයකි. දිනෙන් දින දියුණුවන නූතන තාක්ෂණයෙන් වත්මන වන විට අප සමාජය ලෝකය සමඟින් ඉතාමත් දියුණුවට පත්ව ඇත. මෙම සමාජ දියුණුව සියලු අංශයන් කෙරෙහිම බලපා ඇති අතර ඒ අතරින් වෛද්‍ය විද්‍යාවද අද ඉතාමත් දියුණුවට පත්ව ඇත. ඒ අතරම වත්මන් ජන සමාජය තුළ විවිධ වූ රෝග හා අසාදන ව්‍යාප්තියද ඉහළ යමින් පවතී. මේ සියලු රෝග හා ආසාදන සඳහා බටහිර හා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ විවිධාකාරයේ බෙහෙත් මෙන්ම ඔෟෂධීය චිකිත්සක ක්‍රම මෙන්ම ශල්‍යකර්ම ඇතුළු විවිධාකාරයේ ක්‍රම මඟින් එම රෝගාබාධ සඳහා ප්‍රතිකර්ම රාශියක් පවතී. එහෙත් අප සමාජයේ පවතින එක්තරා බෝවන රෝග විශේෂයක් සඳහා පත්තිනි මෑණියන් උදෙසා නිවැරැදිව, දැහැමිව විශ්වාසය හා භක්තිය පෙරදැරි කරගෙන පුද පූජා පැවැත්වීම තුළින් මෙම රෝග සඳහා නිසි සහනය හා සුවය අපේක්ෂා කළ හැකිය.


අපේ සමාජය තුළ කෙනකුට කලාතුරකින් වැලඳෙන එක්තරා රෝග කිහිපයක් අතීතයේ සිටම අප ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ඉතා ප්‍රබල ලෙස ව්‍යාප්තව පවතී. එය අප හඳුන්වන්නේ "දෙයියන්ගේ ලෙඩ" යන නමිනි. දෙවියන්ගේ ලෙඩට අප පිළියම් යෙදීමට පෙර දෙවියන්ගේ ලෙඩ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ද අප සොයා බැලිය යුතුය. මෙම වසංගත රෝග ආදී දෙවියන්ගේ ලෙඩ මවා පෑ දෙවියන් ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ පත්තිනි මෑණියන්ය. නාගරික ජන සමාජයට වඩා ග්‍රාමීය ජන සමාජය තුළ මෙම දෙයියන්ගේ ලෙඩ යන සංකල්පය ඉතාම ප්‍රචලිතව පවතී.

ඇත්තටම මෙම දෙයියන්ගේ ලෙඩ නමින් හඳුන්වන්නේ එක්තරා රෝග කාණ්ඩයකි. එනම් පැපොල, බඩේ ලෙඩ, සරම්ප, කම්මුල් ගාය, හොරි, දද, ඇස් ලෙඩ, කුෂ්ඨ යන රෝගයන්ය. මේවා බෝවන රෝග වන අතර මෙම රෝග වැලඳුණු විට බොහෝ දෙනකු භීතියට පත්වන අතර එය භයානක රෝග කාණ්ඩයක් ලෙස ඉතිහාසයේ සිටම අප ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ප්‍රකටව පවතින කරුණකි. වර්තමානයේ මේ සඳහා යම් යම් බටහිර වෛද්‍ය ක්‍රම පවා අනුගමනය කිරීමට අපට නාගරික ජන සමාජය තුළ දැක ගත හැකිය. කෙසේ නමුත් මෙම දෙයියන්ගේ ලෙඩ වැලඳුණු විට ඒ සඳහා නිසි අයුරින් වත් පිළිවෙත් අනුගමනය කිරීම තුළින් මෙම රෝග ඉතා පහසුවෙන් සුව කරගත හැකිය. අපේ පැරැන්නන් පුද පූජා ශාන්තිකර්ම මෙන්ම ඊට අදාළ අත් බෙහෙත් හා ආහාර තුළින් මෙම රෝගාබාධ සඳහා නිසි සහනය හා සුවය ලබා ගෙන ඇත.


මෙම දෙයියන්ගේ ලෙඩ සුව කිරීමට වරම් හිමිව ඇත්තේද පත්තිනි මෑණියන්ටය. ඒ අනුව පත්තිනි මෑණියන් උදෙසා නිවැරැදිව වත් පිළිවෙත් සිදු කිරීම තුළින් මෙම රෝග වැලඳුණු කෙනකුට දින 07ක් යන විට නිශ්චිත සුවයක් ලබා ගත හැකිය. ඊට අදාළ නිසි පිළියම් නොකිරීම තුළින් රෝගයෙන් වැඩි දිනක් පීඩා විඳීමට සිදුවනු ඇත. මුලින්ම එම රෝගියා අන් අයගේ නෙත නොගැටෙන ලෙස නිවෙසේ වෙනම කාමරයක ඉතාමත් පිරිසුදුව රඳවා තැබිය යුතුය. එම කාමරයට හා නිවෙසේ අවට කහ දියර ඉස පිරිසුදු කර ගැනීම තුළින් හා කුණු කිලි (මල්වර කිලි, මරණ කිලි හෝ මස්, මාළු, කරවල, බිත්තර ආදි කිලි) හසු නොවන පරිදි පරිස්සම තුළින් රෝගියා මෙන්ම රෝගයද අන් අයට පැතිර යෑම වළක්වා ගත හැකිය. නිවෙසේ ප්‍රධාන උළුවස්සේ ගොක් රෑන් කීපයක් හෝ කොහොඹ කොළ අත්තක් එල්ලා තැබිය යුතුය. එවිට රෝගය සමාජයට පැතිර යෑම අපට වළක්වා ගත හැකිය.


දෙයියන්ගේ ලෙඩ වැලඳුණු විට ඉහත ආකාරයට මූලික කටයුතු කිරීමෙන් පසු ගමේ සිටින මෙම ශාන්තිකර්ම පිළිබඳ උගත් ප්‍රවීණ ඇදුරුතුමකු ලවා ඔහුගේ උපදෙස් අනුව ඊට අදාළ වත්පිළිවෙත් කළ යුතුය. අවශ්‍ය නම් රෝගියා වෙනුවෙන් දෙහි කපා වතුර මැතිරීමද කළ යුතුය. මෙම කාර්යයන් සමඟ අවශ්‍ය නම් වැලඳුණු රෝගයට අදාළ බෙහෙත් ඔෟෂධ භාවිත කිරීම යෝග්‍ය වනු ඇත. මේ සඳහා ඔබටම කළ හැකි පත්තිනි දේවිය උදෙසා කරන සරල ශාන්තිකර්මයක් පහතින් දැක්වෙයි.


බෙලි හැර මිදි, කෙසෙල් හෝ වෙනත් පලතුරු වර්ගයක් තැඹිලි ගෙඩියක් සමඟ වතාවත් කරන පත්තිනි දේවාලයකට ගෙන ගොස් ඒවා වට්ටියක තබා පත්තිනි මෑණියන් උදෙසා කහ මල්, සුවඳ දුම් හා පහන් පූජා කොට ගාථා කියා, වැඳ නමස්කාර කොට රෝගියාගේ රෝගය ඉක්මනින් සුව වීමට ප්‍රාර්ථනා කොට, පත්තිනි මෑණියන්ට වැඳ නමස්කාර කළ යුතුය. ඉන් පසු එම පලතුරත් තැඹිලි ගෙඩියත් තම නිවෙසට ගෙන ගොස් රෝගියාට අනුභවයට හා විටින් විට පානය කිරීමට දීම මෙම රෝගය සුව වීමට මහත් වූ සහනයක් වනු ඇත. ඉන් පසු නිවැසියන් විසින් පත්තිනි මෑණියන්ට එම දේවාලයකදී පත්තිනි මෑණියන් නමින් පූජාවක් නිවැරැදිව ඒ පිළිබඳ උගත් කෙනකුගේ උපදෙස් අනුකූලව පවත්වා රෝගියාට ඉක්මන් සුවය හා සහනය ප්‍රාර්ථනා කළ යුතුය. එවිට නිසි සුව සහනය උදා වනු ඇත.








අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

0 comments:

Post a Comment