Saturday, August 27, 2016

වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම් කොස් දෙල් කන්න.

වකුගඩු රෝගයෙන් බේරෙන්න 'බත් කෑම අඩු කොට පුළුවන්තරම් කොස් දෙල් කන්න.

ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි බවයි පැවසෙන්නේ
ශ්‍රී ලංකාවාසීන් අතර පැතිර යමින් පවතින බරපතල වකුගඩු රෝගය සම්බන්ධ ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි දත්ත විශ්ලේෂණය කිරීමේ දී කැඩ්මියම් බහුල ආහාර පරිභෝජනයෙන් වැලකී සිටීම එයට කෙටිකාලීන විසඳුමක් විය හැකි බව ඒ පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් පවසයි.
කැඩ්මියම් බහුල වශයෙන් අන්තර්ගත වන්නේ සහල් වල බැවින් කැඩ්මියම් සාන්ද්‍රණය අවම වන ආකාරයට සහල් සහ එළවලු වගා කළ යුතු අතර, ඒ සඳහා විද්‍යානුකූලව කැඩ්මියම් සාන්ද්‍රණය පරීක්ෂා කළ හැකි නිසි වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ, ආබාධිත සහ වැඩිහිටි ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් බීබීසී සංදේශයට පැවසීය.
ඒ අතරතුර ශ්‍රී ලාංකික ජනතාව තාවකාලිකව හෝ බත් ආහාරයට ගැනීම අඩු කොට කොස්, දෙල් වැනි අහාර වලට හුරුවීම යෝග්‍ය බව දොස්තර ආනන්ද ජයලාල්ගේ මතයයි.
වෛද්‍ය ආනන්ද ජයලාල් ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම්, ග්ලයිෆොසෙට් හෝ ආසනික් බව මෙතෙක් සනාථ වී නැති බව පවසමින් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ විශේෂඥ කණ්ඩායමක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින්.

විධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බවයි ඔහු පවසන්නේ
කැඩ්මියම් සහිත සහල්
ශ්‍රී ලාංකික ජනතාව දැනට පරිභෝජනය කරන ආහාර අතරින් සියයට හතලිස් පහක කැඩ්මියම් ප්‍රතිශතයක් සහල් වල දැකිය හැකි අතර අල හා බතල වැනි අහාර වලද කැඩ්මියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබෙන බව මෙතෙක් ඒ පිළිබඳව පළවූ පරීක්ෂණ වාර්තා තිස් දෙකක තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවේ වකුගඩු ගැටලුව පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට අදහස් කරන චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියේ නිගමනය වී තිබේ.
පළමුව ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයක දරුණු වකුගඩු රෝගයක් පැතිර යාමට ප්‍රධානම හේතුව පානීය ජලයේ අඩංගු ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන පවසා තිබුණි.
එහෙත් ලන්ඩන් නුවරදී සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි.
Kidney_srilanka
Image caption
ශ්‍රී ලංකාවේ පැවැත්වුණු වකුගඩු රෝගය පිලිබඳ සෞඛ්‍ය සායනයක්
ග්ලයිෆොසෙට්
ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
කෙසේවුවද පර්යේෂකයන් බොහෝ දෙනෙකු විසින් කැඩ්මියම් හා වකුගඩු රෝගය අතර සම්බන්ධය පිළිබඳව කරුණු දක්වා තිබුණු අතර තම පරීක්ෂණ දත්තයන් මත පදනම් ව වෛද්‍ය ආනන්ද ජයලාල් පවසන්නේ එකී කැඩ්මියම් බහුලව හමුවන ආහාරය වන්නේ සහල් බවයි.
ලංකාවේ සිදුකර ඇති පර්යේෂණ වල දී බොහෝ විට සිදුවී ඇත්තේ ජලය, සහල් හෝ වෙනත් ද්‍රව්‍ය වෙන් වෙන් වශයෙන් පරීක්ෂාවට ලක් කර ඒවායේ අඩංගු රසායනික ද්‍රව්‍ය ප්‍රතිශතයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවතීදැයි සොයා බැලීම බව පවසන වෛද්‍ය ජයලාල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ප්‍රතිශතයන් ඉක්මවා නොයෑම මගින් පමණක් අදාළ රසායනික ද්‍රව්‍ය වලින් මිනිස් සිරුරට කරන බල පෑම නොසලකා හළ නොහැකි බව පවසයි.

ආසනික්, ග්ලාෆොසෙට් හෝ කැඩ්මියම් ගැන පමණක් අවධානය යොමු නොකොට 'සමස්ථ චිත්‍රය' සලකා බැලිය යුතු
'බැර ලෝහ'
"ලංකාව ප්‍රධාන වශයෙන් සහල් පරිභෝජනය කරන රටක්. ඉතිං මේ 'බැර ලෝහ' වල විෂ භාවය ගණනය කරන කොට 'Total diet study' එහෙම නැතිනම් සම්පුර්ණයෙන්ම ගන්නා ආහාරවල තියන, ජලයත් ඇතුළුව, තියන ප්‍රමාණයන් ගණනය කරලා බලන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානය මෑතක දී කැඩ්මියම් සතියකට ගන්න පුළුවන් උපරිම ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 7 සිට 5.8 දක්වා අඩුකලා. යුරෝපා සංගමය ඒක අඩු කලා 2.58 ට" යනුවෙන් පැවසූ ඔහු සහල් හා අනෙකුත් අහාර වල ඇති කැඩ්මියම් ප්‍රතිශතය සම්බන්ධ තමන්ගේ පර්යේෂණ වල දත්තයන් චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියට අයත් කණ්ඩායම විසින් දැක තිබේ දැයි නොදන්නා බවයි ප්‍රකාශ කළේ.
වකුගඩු ගැටලුව පිලිබඳ අධ්‍යයනය කරන විවිධ පර්යේෂකයන් "සිරුරේ කොටස් අල්ලා බලා අලියා ගේ ස්වරුපය තීරණය කළ අන්ධයන්" සේ ක්‍රියාකරන බව පැවසූ ඔහු ආසනික්, ග්ලාෆොසෙට් හෝ කැඩ්මියම් ගැන පමණක් අවධානය යොමු නොකොට 'සමස්ථ චිත්‍රය' සලකා බැලිය යුතු අතර වකුගඩු රෝගය පැතිරීමට හේතුව කැඩ්මියම් බවට අවසාන නිගමනයකට පැමිණීමට තවමත් නොහැකි වූවද සහල් සහ තවත් අහාර වර්ග වල කැඩ්මියම් විශාල වශයෙන් තිබීම නොසලකා හරිය නොහැකි බවයි සංදේශය යොමු කළ ප්‍රශ්ණයකට පිළිතුරු ලෙස වෛද්‍ය ආනන්ද ජයලාල් අවධාරණය කළේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment