Saturday, August 27, 2016

බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ වටිනා කරුණු ටික දැනගන්න.

බුදු දහම හා දේව සංකල්ප ගැන අපි දැනගත යුතු මෙන්න මේ වටිනා කරුණු ටික දැනගන්න.
 
බුදු දහම හා දේව සංකල්පය පිළිබඳ නූතන යුගයේ විවිධ ලෙස වාද විවිධ පවතී. ලෝකයේ ‘ඇති සියලු’ ආගම් කොටස් දෙකකට බෙදා දැක්වෙයි. එනම් මානවවාදී (මානව කේන්ද්‍රිය) ආගම් සහ දේවවාදී (දේව කේන්ද්‍රිය) ආගම් යනුවෙනි.

මිනිසාගේ චින්තන නිදහසට හා මිනිසාගේ ස්වාමිත්වය මිනිසාට හිමි කරදී ඇති ආගම වන්නේ බුදු දහමයි. මිනිසා ඇතුළු සියලු සත්වයාත් ලෝකයත් මෙහෙයවන බලවේගය දෙවියන් බවත් එම දෙවියන් සර්වබලධාරී දෙවි කෙනෙකු බවත් විශ්වාස කරමින් අදහන ආගම් දේවවාදී ආගම් වේ. බුදු දහම හැරුණු විට ලොව ඇති හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, ආදි සියලු ආගම් දෙවියන් විසින් ලොව මවා ඇති බව පිළිගනිමින් අදහන ආගම්ය.

බුදු රජාණන් වහන්සේද සූත්‍ර දේශනා මගින් දෙවියන් පිළිබඳව අදහස් ඉදිරිපත් කොට ඇත. බුදු දහමෙහි දෙවිවරු කොටස් තුනක් ලෙස විග්‍රහ කොට ඇත. එනම්,

1. සම්මුති දේව
2. විශුද්ධි දේව
3. ඕපපාතික දේව යනුයි.

සම්මුති දේව යනු සමාජයක වෙසෙන රජවරු සිටුවරු මැති ඇමතිවරු ආදී ප්‍රභූ පිරිස්ය. විශුද්ධි දේව යනු බුදු පසේබුදු මහරහත් යන කෙලෙස් දුරු කළ උතුමන්ය. සංසාරයේ පින් කිරීමෙන් දිව්‍ය ලෝක වල පහළ වන දෙවිවරු ඕපපාතික දේව නම් වේ.

මෙම දේව කොටස් ත්‍රිත්වය අතරින් ඕපපාතික දේව සංකල්පය පිළිබඳ මෙහිදී විග්‍රහ වෙයි. බුදුරදුන් ලොව පහළ වීමට පෙර පටන්ම ලෝ වැසියා තුළ දේව විශ්වාසය පැවතිණි. ගස් ගල් පර්වත ආදී ස්වභාවික වස්තු දේවත්වයෙන් සලකා වැඳුම් පිදුම් කළ බව සඳහන් වෙයි. එමෙන්ම යක්‍ෂ නාග මළවුන් ආදී ඇදහිලිද දක්නට තිබුණි. මුල් යුගයේ තිස්තුන් කෝටියක් දෙවියන් ඇදහූ මිනිසුන් පසුව ‘මහා බ්‍රහ්ම’ නමින් සර්ව බලධාරී එක් දෙවියෙකු අදහන්නට වූ බව දැක්වේ.

ත්‍රිපිටක සාහිත්‍ය ගත තොරතුරු අනුව යක්‍ෂයින් අසුරයින් ගාන්ධර්වයින් කුම්භාණ්ඩයින් නාගයින් යන අමනුෂ්‍ය කොට්ඨාස ගැන තොරතුරු දැක්වෙන අතර දෙවියන් හා බ්‍රහ්මයින් ලෝකයේ ශ්‍රේෂ්ඨයින් බව විස්තර වෙයි. මනා වූ කුසල් කිරීම නිසා දේව ආත්ම ලැබු දෙවිවරු සිටින ලෝක සයක් ගැන බුදු දහමෙහි කරුණු විස්තර වෙයි. මනුෂ්‍ය ලෝකයට ආසන්නව ඇති දිව්‍ය ලෝකය ලෙස චාතුර්මහාරාජික දිව්‍ය ලෝකය හැඳින්වෙයි. එම දිව්‍ය ලෝකයේ දිසා හතරකට අධිගෘහිතව සිටින දෙවිවරු සතර දෙනකු ගැන විස්තර වෙයි.

නැගෙනහිරට අධිපති ලෙස ධ්‍රතරාශ්ඨ දෙවියන්ද, දකණු දිශාවට අධිපති ලෙස විරූඨ දෙවියන්ද, බටහිර දිශාවට අධිපති ලෙස විරූපාෂ්ඨ දෙවියන්ද, උතුරු දිශාවට අධිපති ලෙස වෛශ්‍රවණ දෙවියන්ද, සිටින බව සඳහන් වෙයි. මෙම දෙවිවරුන් සම්බුදු සසුන රකින සතර වරම් දෙවිවරුන් ලෙසද හඳුන්වා ඇත. එම චාතුම්මහාරාජික දිව්‍ය ලෝකයට ඉහළින් තාවතිංශය නම් දිව්‍ය ලෝකය පවතින අතර එහි දෙවිලොවටම අධිපති ශක්‍ර දේවේන්ද්‍ර හෙවත් සක්විති රජු වාසය කරනු ලබයි.

එම දිව්‍ය ලෝකයට ඉහළින් යාමය හා තුසිත දිව්‍ය දෙක පිහිටා ඇත. ඊට පසුව නිම්මානරති දිව්‍ය ලෝකය හා පරිනිම්මිත වසවත්තිය දිව්‍ය ලෝකය පිහිටා ඇත. මින් නිම්මානරති දිව්‍ය ලෝකයේ මැවුම්කාර දෙවිවරු සිටින බව සඳහන් වේ.

ඉහත ලෝකවල සිටින බොහෝ දෙවිවරු බුදුරදුන් සමගද සංවාද පවත්වා ඇත. බුදු දහමෙහි දෙවිවරු කොටස් දෙකක් ගැන විස්තර වෙයි. එනම්

01. සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු
02. මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු යනුයි.

සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු යනු බුදු දහම අසා බුදු දහම පිළිගත් දෙවිවරුය. ඔවුන් නිරතුරුව ඔවුන්ට පින් අනුමෝදන් කරන මිනිසුන් ආරක්ෂා කරන බව සඳහන් වන අතර මිථ්‍යා දෘෂ්ඨික දෙවිවරු වැරදි අදහස් උදහස් ඇතිව දිව්‍ය ලෝක වල අධික කාම සැප විඳින බව දැක්වේ. කෙසේ වෙතත් කවර හෝ දෙවියකු හෝ දිව්‍යාංගනාවක වීමට මනුෂ්‍ය ලෝකයේදී පිංකම් හේතු වන බව බුදු දහමෙහි නිරතුරුවම දක්නට ලැබෙයි. බුදුරජාණන් වහන්සේ විසින් මංගල පරාභව ධජග්ග ආටානාටිය ආදි සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ දෙවියන් අරමුණු කරගෙනයි.

බෝසතුන් මෙලොව ඉපදීමට පෙර තව්තිසා දිව්‍ය ලෝකයේ සිටි බවත් දේව ආරාධනාවකට අනුව පස් මහ බැලුම් බලා මෙලොව ඉපදුණ අතර බරණැස ඉසිපතනාරාමයේදී ප්‍රථම දම් දෙසුම පවත්වන අවස්ථාවේද දෙවිවරු පැමිණ බණ අසා සිටියහ. ප්‍රථම දම් දෙසුම වූ දම්සක් පැවතුම් සූත්‍රයේද දිව්‍ය ලෝක පිළිබඳව ද සඳහන් වෙයි.

මිනිස් ලොවට වඩා දිව්‍ය ලෝකවල ආයු ප්‍රමාණයද වැඩි වන අතර ඇතැම් දිව්‍ය ලෝක වල ආයුෂ මිනිස් ලොව අවුරුදු 100 ක් දිව්‍ය ලෝකයේ එක දවසක් බවත් එමෙන්ම ඇතැම් දිව්‍ය ලෝකවල මිනිස් ලොව අවුරුදු දහසක් එහි එක් දවසක් ආදි ලෙසත් දැක්වේ. ඊට අමතරව දිව්‍ය ලෝකයේ ඇති මදාරා, පරසතු, කඩුපුල් ආදි මල් වර්ග ගැනත් එහි ඇති ගංගා පිළිබඳවත් සඳහන් වෙයි. දෙවිවරු ආහාර අනුභව නොකරන අතර සතුට ඔවුන්ගේ ආහාරය බවද විස්තර වේ.

දීඝ නිකායේ මහා සමය සූත්‍රය අනුව එකල සිටි දේව සමූහයන් පිළිබඳවත් දිව්‍ය ලෝකයේ සිටින ප්‍රධාන දෙවිවරු ගැනත් එම දෙවිවරු අණසක පවත්වන දිශාවන් ගැනත් විස්තර වේ. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සුත්‍රය අනුව

යේ ගහට්ඨා පුඤ්ඤකරා
සීලවන්තෝ උපාසකා
ධම්මේන දාරං පෝසෙන්තී
තේ නමස්සාමි මාතලී

පින් දහම් කරන සිල්වත් ගිහි උපාසක උපාසිකාවන්ට ශක්‍ර දේවේන්ද්‍රයා නමස්කාර කරන බව දැක්වේ. ඒ අනුව ධර්මානුකූලව කටයුතු කරන ගිහි ජනයාට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන බව බුදු දහම අවධාරණය කොට ඇත. සංයුක්ත නිකායේ සක්කපඤ්හ සූත්‍රය අනුව දිව්‍ය ලෝකයේ සිටින පංචසික නම් වීනා වාදකයා බුදුරදුන් සමග සංවාද කළ අයුරුත් ඔහුගේ වීනා වාදනය බුදුරදුන් අගය කළ අයුරුත් සඳහන් වෙයි.

මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන මිනිසුන් පින්දහම් කොට අනුමෝදන් කරන පින් ලබාගන්නා දෙවිවරු මනුෂ්‍ය ලෝකයේ වෙසෙන මිනිසුන් ආරක්ෂා කරන බව අංගුත්තර නිකායේ දැක්වෙන සූත්‍ර ධර්ම වලින් තවදුරටත් පැහැදිලි වෙයි. දිව්‍ය ලෝකයේ සිටින දෙවිවරු වරින්වර මිනිස් ලොවට පැමිණ සිල්වත් ගුණ දහම් රකින මිනිසුන්ට ආරක්ෂාව සලසන බවද එහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වන අවස්ථාවල දෙවියන් පැමිණ වැඳුම් පිදුම් කළ අතර උන්වහන්සේ ලක්දිවට වඩින විට සුමන සමන් දෙවියන් බුදු සිරසට ඡත්‍රයක් අල්ලාගෙන පැමිණි බව මහා වංශයේ සඳහන් වෙයි. ඒ අනුව ලක්දිව සමනල අඩවියට සුමන සමන් දෙවියන් අධිගෘහිතව සිටින බව දැක්වෙන අතර බුදුරදුන් පිරිනිවන් පාන අවස්ථාවේ ලක්දිව ආරක්ෂා කරන ලෙසට දෙවියන්ට භාරකළ බවද සඳහන් වෙයි. බුදුරදුන් පිරිනිවන් පානා අවස්ථාවේ දෙව් ලොවට අධිපති ශක්‍රයා ‘අනිච්චාවත සංඛාරා’ යනාදී ගාථාව කියමින් ශෝකය ප්‍රකාශ කළ බවද බුදු දහමෙහි සඳහන් වෙයි.

දෙවිවරුන්ටත් වඩා ඉහළින් පිහිටි බ්‍රහ්ම ලෝක විස්සක් ගැනද බුදු දහමෙහි සඳහන් වේ. බ්‍රහ්මයන් යනු දෙවියන්ට වඩා ශ්‍රේෂ්ඨ පිරිසක් බවද දැක්වේ. ශුද්ධාවාස නම් බ්‍රහ්ම ලෝකයේ අනාගාමී මාර්ගයන්ට පත් බ්‍රහ්මයින් වාසය කරන අතර පසුව ඔවුන් අරිහත් බවට පත්ව නිර්වානාවබෝධය ලබන බවද සඳහන් වේ. ශක්‍රයා සෝවාන් ඵලයට පත්වූ අතර සහම්පති බ්‍රහ්මයා අනාගාමී ඵලයට පත්වූ බවද එහි විස්තර වෙයි.

මේ අනුව සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු බුදුරදුන්ගෙන් ධර්මය අසා විවිධ මාර්ගඵලයන්ට පත් වී ඇති අතර බුදුපාමොක් මහ සඟනට උපස්ථාන කිරීමත් සැදැහැවත් බොදුනුවන්ගේ ආරක්ෂාවත් ඔවුන් විසින් සලසන බව බුදු දහමෙහි විස්තර වෙයි. මේ අනුව බුදු දහමෙහි දේව සංකල්පය ඉතා පුළුල් ලෙස විග්‍රහ වෙයි.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට වෙනත් මගක යමින් වත්මන් ලාංකිකයන් හා ලෝවැසියන් දෙවියන් ඇදහීමට නැඹුරු වී ඇති බව පැහැදිලි කරුණකි. ලංකාව විවිධ විදේශීය ආක්‍රමණයන්ට ලක්වීමත් සමග හින්දු ක්‍රිස්තියානි ආගම් වල ඇදහීම් ක්‍රමද ලක්වැසියාටද හුරු පුරුදු වී ඇත.

පොළොන්නරු යුගයේ බොහෝ රජවරු හින්දු කාන්තාවන් සමග විවාහ වූ නිසා රජු විහාරයට බුදුන් වැඳීමට ගිය විට තම රජ බිසවට වන්දනාමාන කිරීම සඳහා ආරාම වල දේවාල ඉදි කළ බව සඳහන් වෙති. එම යුගයේ පටන් අද දක්වා එහි විකාශනයක් ලෙස අද මුළු මහත් ලංකාවේම වෙහෙර විහාරස්ථාන තුළ දේවාල ඉදි කරමින් බෞද්ධ වන්දනාවන්ට අමතරව දේව ඇදහිලි හා පුද සිරිත් දක්නට ඇත. විෂ්ණු, කතරගම, විභීෂණ, දැඩිමුණ්ඩ,, නාථ, පත්තිනි ආදි ලෙස හින්දු දහමෙහි පිළිගත් දෙවියන් ඇදහීමට ලාංකීය බෞද්ධයෝ හුරු පුරුදු වී සිටිති.

මිනිසාට වඩා අසීමිත බලයක් දෙවියන්ට ඇතැයි විශ්වාස කරන මිනිසුන් විවිධ පුද පූජා භාරහාර සිදු කරමින් විවිධ සම්පත් ප්‍රාර්ථනා කරති. නමුත් තම ජීවිතයේ ප්‍රාර්ථනා සඵල කර ගැනීමට තම උත්සාහයෙන් වෙහෙස මහන්සියෙන් ක්‍රියා කළ යුතු වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment