Saturday, August 27, 2016

බුදු දහම ආගමක්‌ද? දර්ශනයක්‌ද?

බුදු දහම ආගමක්‌ද? දර්ශනයක්‌ද?

"මට ඇති ආගමක්‌ නැත. එහෙත් යම් ආගමක්‌ පිළිගනිතොත් එය බුද්ධාගමය" යනුවෙන් ඉංග්‍රීසි දාර්ශනිකයෙකු වූ රසල් පඬිතුමා පැවැසීය. මේ අනුව බුදු දහම අති ශ්‍රේෂ්ඨ දහමක්‌ බවට විජාතිකයින් අබෞද්ධයන් පවා අවිවාදයෙන්ම පිළිගනී. එසේනම් ආගමක්‌ යනු කුමක්‌ද? බටහිර විද්වත්හු පවසන ආකාරයට නම් ආගම යනු මැවුම්කරු දෙවි කෙනෙකුන් කෙරෙහි විශ්වාසය තබා උන්වහන්සේට දාසව පවත්වන ලබ්ධියක්‌ හෝ ප්‍රජා විධි ක්‍රමයකි. මේ අරුතින් බැලුවහොත් නම් බුදු දහම ආගමක්‌ නොවේ. බුදු දහම අදහන්නන්ද මල් පහන් පුදදෙමින් ප්‍රජා විධීන්හි නියෑලුනද බුදුන් වහන්සේ සෑම විටම අනුදැන වදාලේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවයි. එය උතුම් බවයි. (අ + ගමා = යම් ආගමක ශාස්‌තෘවරයෙකු දෙන අවවාද (ආ) සමූහය (ගමා ආගම යෑයි සලකනු ලබයි. මේ අනුව හින්දු, ඉස්‌ලාම්, ක්‍රිස්‌තියානි, බුදු දහමද ආගම් වේ.

බුදු දහම නිවනට මග කියන්නාවූ දහමකි. ගිහියන්ට ගිහි පිළිවෙත් ඔස්‌සේද පැවිද්දන්ට පැවිදි පිළිවෙත් ඔස්‌සේද අවසානයේ නිවනකරා ළඟාවිය හැකිය. ගිහි පැවිදි සියල්ලන්ගේම අභිප්‍රාය වනුයේ ද නිවන් දැක සසර කතරින් එතෙරවීමයි. මෙහිදි දර්ශනය යන්න කුමක්‌ද? කියා විමසා බැලිය යුතුය. බටහිර විද්වතුන්ගේ අදහසට අනුව දර්ශනයක පරමාර්ථය නම් හැම දෙයක්‌ පිළිබඳවම යථා තත්ත්වය දැන ගැනීමේ ඇති කැමැත්තයි. පිළිවෙත් පිරිමක්‌ ගැන බටහිර දාර්ශනිකයෝ නොකියති. එබඳු අර්ථයකින්, දර්ශනය යන වචනය භාවිතා කළහොත් බුදු දහම දර්ශනයක්‌ද නොවේ. ලෝකයේ යථා ස්‌වභාවය බුදු දහමින් ප්‍රකාශ වේ. චතුරාර්ය සත්‍ය විමසීමේදී පෙනී යන්නේ පළමු සත්‍ය තුන දර්ශනයද සිව්වෙනි සත්‍යයෙන් ප්‍රතිපත්තියද ප්‍රකාශවන බවයි. මේ අනුව දහමකින් සිදුවිය යුතුවන්නේ කුමක්‌ද? යන්න විමංසනය කිරීම වටී.

හොඳ, නරක දෙකෙහි වෙනස දැනගෙන පරම, පිවිතුරු ශ්‍රේෂ්ඨ ජීවිතයක්‌ ගත කිරීම පුද්ගලයාට මග කියා දීම ආගමකින් සිදුවිය යුතුය. මේ අනුව කුසල අකුසල විපාක කියාදී පුද්ගලයාට සසර තරණය කිරීමට මං පාදන නිසාම බුදු දහම ශ්‍රේෂ්ඨ දහමකි. ඇතැම් ආගම්වල පදනම කිසිදිනක නොදුටු, ප්‍රත්‍යක්‍ෂ ලෝකය තුළ නොපෙනන, අදෘශ්‍යමාන, බලගතු අත්භූත දෙවි කෙනෙකු මත පදනම්වය. ඇතැම් ආගම් ලෝකය මේ දෙවියන් විසින් මවන ලද බව පවසයි. එහෙත් නවීන විද්‍යානුකූලව මෙම මත වෙනස්‌ව යමින් මිනිසා යනු කිසිවෙකුගේ මැවීමක්‌ නොව අනුක්‍රමයෙන් සිදුවූ පරිණාමයේ ඵලයක්‌ බවට විද්‍යාත්මකව පහදා දී ඇත. මැවුම්වාදය බුදු දහමේ පිළිනොගනී. චතුරාර් සත්‍යය යනු මිනිසාට ස්‌වාවබෝධයෙන්ම දැනගත හැකිවූ දර්ශනයකි.

එසේම බුදුන් වහන්සේ කිසිදු විටක ඇසූ පමණින් තම දහම පිළිගන්නැයි දේශනා නොකළ සේක. තමා කියන නිසාම තරයේ පිළිගතයුතු යෑයි ඇවිටිලි කළේද නැත. උන්වහන්සේ තම ධර්මය පොදු මහජනයාට දේශනා කිරීමේදී කෙතරම් නිහතමානී වීද යත් කාලාම සූත්‍රය තුළදී ප්‍රකාශ කළේ සෑම විටම තම නැණ පමණින් සිතා යමක්‌ පිළිගත යුතු බවයි. එනම් බොහෝ කලක සිට අසන්නට ලැබුණේය. පරම්පරාවෙන් පැවත එන්නේය. කවුරුන් හෝ කී පමණින්, උගත් ශාස්‌ත්‍රයට සරිලන බව සිතීමෙන්, අනුමාන කිරීමෙන් අසවල් මහන හෝ බහුශ්‍රැත භික්‌ෂුවක කී පමණින් ආදී වශයෙන් තමන් නොපිළිගත යුතු බවයි. තමුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දෙසූ දහම වුවද සිතා බලා මිස එකවරම නොපිළිගත යුතු බව දේශනා කළ සේක. මේ නිසා බෞද්ධයින්ට තම ආගම පිළිබඳ සිතීමට විමංසනයට, තර්ක කිරීමට බුදුන් වහන්සේ විසින්ම උපරිම නිදහස ලබා දී ඇත්තේය.

බුදුන් වහන්සේ සෑම විටම දේශනා කරනු ලැබුවේ "පඤ්ඤාවන්තස්‌සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස" යනුවෙනි. එනම් මේ ධර්මය නුවණ ඇත්තන්ට මිස අනුවණ ජනයාට නොවන බවයි. බුදු දහම යනු මීට වසර දෙදහස්‌ පන්සීයකටත් පෙර දේශනා කරන ලද දහමක්‌ වුවද එය ප්‍රචාරය කිරීමේදී කිසිදු ලෙසකින් බලහත්කාරයෙන් එය පුද්ගල මනසට ඇතුල් නොකරන ලදී. බුදුන් වහන්සේ තම දහම තුළින් සෑම විටම ස්‌ත්‍රී, පුරුෂ භේදයකින් තොරව බාල, මහළු, භේදයකින් තොරව සැමට එකසේ කුලමල භේදයෙන් තොරව නිවනට යන මග පෙන්වා දෙන ලදී. මුල්වරට කාන්තාවන් උදෙසා ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වාදුන් නායකයාණෝද බුදුන් වහන්සේය. මෙනිසා බුදු දහම තරම් පුද්ගල නිදහසට, විමර්ශනයට, චින්තනයට ගරු කළ මෛත්‍රීය, දයාව, කරුණාව, පැතිර වූ තවත් ආගමක්‌, දර්ශනයක්‌ නැති යෑයි කීම අන් ආගමික ලබ්ධීන්ට කරන අසාධාරණයක්‌ නොවේ.

අනුෂ්කා මධුවන්ති ගමගේ
ජන සන්නිවේදන අධ්‍යනාංශය
ශ්‍රී ජයවර්ධනපුර සරසවිය



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

0 comments:

Post a Comment