Sunday, August 28, 2016

විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු පැත්ත මෙන්න.

විද්‍යාවේ බුදු දහම හා බුදු දහමේ විද්‍යාවේ නොදුටු පැත්ත මෙන්න.

පොතකින් පෙත්තක්බද්දර මල්ල
නවීන විද්‍යාව හා ආගම් අතර අර්බුදකාරී පරස්පරයන් තිබෙනවා. ඒත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වැනි විද්වතෙක් වරක් පෙන්වා දෙන ආකාරයට සියලු ආගමික දර්ශනවාද අතරින් නවීන විද්‍යාත්මක සංකල්පවලින් අවම තර්ජන එල්ල වී ඇත්තේ බෞද්ධ දර්ශනයට. මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් කියල තියෙන විදියට බුදු දහමට විතරක් විද්‍යාව එක්ක එකට ගමන් කළ හැකියි.

මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ ප්‍රතිචීනාවලෝකන නම් වූ තීරු ලිපි සංග්‍රහය විවිධ විෂය ක්ෂේත්‍ර ආවරණය කළත් එහි සමස්තය තුළ නවීන විද්‍යාව හා බුදු දහම නමැති මාතෘකාව තිබෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. “ක්වොන්ටම් බුඩිසම්” (QUANTUM BUDDHISM) නමින් අලුත් විෂයයක් ද අද පවතින බව පඤ්ඤාවංස හිමි පෙන්වා දෙනවා.

මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවෝ වැඩවාසය කරන්නේ ප්‍රංශයේ. අද ප්‍රංශයේ විතරක් බෞද්ධයන් ලක්ෂ 50 ක් පමණ ඉන්නව කියලා උන්වහන්සේ කියා සිටිනවා. ඔවුන් අපේ ඇතැම් බෞද්ධයන් වගේ මිථ්‍යා දෘෂ්ටික අඳ බාලයන් නෙමෙයි. බොහෝම දැන උගත් අය.

අපේ සමහර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන පවා ගෞරවයෙන් යුතුව කතා කරන්න බැරි තත්ත්වයක් තමයි අද තියෙන්නේ. උසාවියට අපහාස කරන, මුස්ලිම් කඩ සාප්පුවලට පහර දෙන, අලි පැටවු ඇතිකරන ඒ නිසාම රිමාන්ඩ් භාරයේ රැඳවෙන භික්ෂූන්ලා ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති. ඒ අනුව ලංකාවේ ඉන්නේ ත්‍රස්තවාදී භික්ෂූන්ය කියලා විදේශිකයන් කිව්වොත් එය අපට මහත් අවමානයක් ද වෙනවා.

අද ප්‍රංශයේ බෞද්ධ පොත් ද රැසක් බිහිවෙනවා. ඒවා අපේ ඇතැම් තක්කඩින් ගාන කපාගන්න ලියන පොත්වලට වඩා බොහොම ගැඹුරු ග්‍රන්ථ. ලංකාවේ පළවන බෞද්ධ පොත් සංඛ්‍යාවට වඩා මෙහි බෞද්ධ පොත් පළකෙරෙන බවත් මිලින්ද ප්‍රශ්නය, ජාතක කතා මෙන්ම ශුන්‍යතාවාදය ආදී ඉතා ප්‍රශස්ත ග්‍රන්ථ මෙන්ම දරුවන් සඳහා බුදු සිරිත ආදී පොත්පත් ද මෙහිදී ලබාගත හැකි බව පඤ්ඤාවංස හිමි තම පොතේ සඳහන් කරනවා. ඒ අනුව “මේ බුදුන්ගේ දේශය” යි කියලා බෞද්ධ ඒකාධිපතිවාදයක් අපේ රටේ ඇතමුන් පවත්වාගෙන යන්ට උත්සහ ගැනීම අඥාන ක්‍රියාවක් බව අමුතුවෙන්ම කිව යුතු නැහැ.

නවීන විද්‍යාව ගැන ලියැවුණු පතපොත නිතරම කියවන මම මෙතෙක් හිතා හිටියේ “මනස” (MIND) කියා දෙයක් නැති බවයි. ඇත්තටම එවැනි ඉන්ද්‍රියක් අපේ ශරීරයේ නැහැ. ඒත් අපි හිතන්නේ හදවතින් ද, මොළයෙන් ද (ස්නායු පද්ධතියෙන් ද) යන්න මට විසඳාගත නොහැකි පෞද්ගලික ගැටලුවක්. මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ කරන එක්තරා අත්දැකීමක් පඤ්ඤාවංස හිමිගේ පොතේ දැක්වෙනවා. කතාව මේකයි.

අමෙරිකාවේ තරුණියක් පිහියෙන් ඇන මරා දැමුණා. පසුව ඇගේ හදවත වෙනත් තරුණියකට බද්ධ කළා. ශල්‍යකර්මයෙන් පස්සේ එම තරුණියට හදවතේ මුල් අයිතිකාරියට පිහියෙන් ඇන මරා දැමූ මිනීමරුවා සිහිපත් වෙනවා. ඇය කරන විස්තරයට අනුව මිනීමරුවා අල්ලා ගන්නවා.

ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද? ස්මරණයක් පවත්වාගෙන යන්න හදවතට පුළුවන්ද? අපි හිතන්නේ මතන්නේ හදවතින් ද? හදවත ගැන බටහිර වෛද්‍ය විද්‍යාවේ පිළිගන්න ආකාරයට ලේ පොම්ප කරන මධ්‍යස්ථානයක් පමණක් නොවේද?

“ප්‍රතිචීනාවලෝකන” පොතේ දලයි ලාමා, ඛලීල් ජ්බ්රාන්, මිලාරෙපා භික්ෂුව, ඔමාර් ඛයියාම්, තිච් ඤාතාන් හිමි වැනි චරිත ගැනත් කියැවෙනවා. පාප් වහන්සේ මහත් හරසරින් පිළිගත් අපේ රට දේශපාලන හේතු මත දලයි ලාමාට එන්න වීසා නොදීම ගැන පඤ්ඤාවංස හිමි ප්‍රශ්න කරනවා.

පඤ්ඤාවංස හිමියන් ඛලීල් ජිබ්රාන් ගැන බොහෝ තැන්වල සඳහන් කරනවා. එපමණක් ද නොවේ. ඔහුගේ පොත් කීපයක් ද ‍සිංහලට නඟා තිබෙනවා. (“මුනිවරයා”, “මුනිවර අසපුව”, “මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය”)

ජිබ්රාන්ගේ හරි අපූරු කෙටි නාට්‍යයක් මෙම තීරු ලිපි සංග්‍රහයට ඇතුළත් කරලා තියෙනවා.

“නිදා සිටින රැජනකට වහලුන් දෙදෙනෙක් පවන් සලමින් සිටිති. ඒ අතර නිදා සිටින රැජනගේ හිසින් ඇගේ ඔටුන්න ගැලවී බිමට වැටේ. ඒ සැණින්ම එක් වහලෙක් එම බිම පතිත වූ ඔටුන්න ගෙන ඇගේ හිස මතින් ආපහු තබයි. එවිට රැජිනගේ ඔඩොක්කුවේ නිදා සිටින බළලා මෙසේ කියයි.

බිමට වැටුණු ඔටුන්න නැවත ආපහු එම හිස මතින්ම තබන පුද්ගලයා නම් හැබෑම වහලෙකි!”

ජිබ්රාන්ගේ එක්තරා කියමනක්ද ඔබේ දැනුමත් ආස්වාදයත් පිණිස මෙසේ දක්වා සිටිනවා.

“දේශපාලකයා හිවලකු වූ, දාර්ශනිකයා වීදි නාට්‍යකාරයකු වූ, කලාව බහුබූතයක් හා අනුකරණයක් වූ දේශයක ජනතාවට අනුකම්පා වේවා!

ගැඹුරු, හරවත් පොතක් කියවනකොට පාඨකයන්ගේ චින්තන අවකාශය පුළුල් වෙනවා. ඔවුන්ගේ ඥාන මණ්ඩලය ප්‍රසාරණය වෙනවා. “ප්‍රතිචීනාවලෝකන” එවන් වෙනසක් කරන පොතක් ලෙස අවසාන වශයෙන් හඳුන්වා දෙන්ට පුළුවන්.

සුනිල් මිහිඳුකුල


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 



0 comments:

Post a Comment