Tuesday, August 30, 2016

සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන් වටිනා උපදෙස් මෙන්න.

 සුන්දර කෙස් කළඹකට ආයුර්වේද යෙන්
 වටිනා උපදෙස් මෙන්න.


නීරෝගිමත් දිගු කෙස් කලඹකට හිමිකාරියක් වෙන්නට ඇත්නම් එය කෙතරම් වාසනාවන්තද? එහෙත් ලස්සන දිගු කෙස් කලඹකට හිමිකම් කියන කාන්තාවන් අද ඉන්නේ කීයෙක් කී දෙනාද? බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ විවිධ හේතු කාරක නිසා විවිධ රෝග තත්ත්වයන් නිසා හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට හානිකර බලපෑම් ගෙන දී ඇති ආකාරයයි.

ඉස්හොරි, හිසකෙස් ගැලවීයාම, අකලට හිසකෙස් සුදුවීම, තුනීවීම, අගිස් පැලීම, දුර්වර්ණ වීම, වර්ධනය නොවීම අද බහුල ලෙස දැකිය හැකි ගැටලුයි. මෙවන් තත්ත්වයක් ඇතිවන්නේ ඇයි? කෙස් කලඹේ නීරෝගිමත් බව රැකගන්නට නම් අප අනුගමනය කළයුතු උපදෙස් මොනවාද? මෙම සුවිශේෂී අතිරේකය ඒ පිළිබඳ විමසා බලන්නටයි.

* නොසැලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලයි.

අද බොහෝ විට දක්නට ලැබෙන්නේ හිසකෙස්වලට දක්වන අඩු අවධානය සහ නොසැලකිල්ල නිසා හිසකෙස් රෝග බහුලවී ඇති බවයි. බොහෝ අය හිතන්නේ හිසකෙස් විලාසිතා ගැන පමණයි. හිසකෙස් වල නීරෝගිමත් පැවැත්ම ගැන වැඩි තැකීමක් කරන්නේ නෑ. මෙන්න මේ නිසා නීරෝගිමත් කෙස් කලඹක් අහිමිවන්නට පුළුවන්.

* හිසකෙස් වර්ධනය වීම අඩාල කරන හේතූන් මොනවාද?

මේ සඳහා බලපාන හේතූන් බොහොමයක් තිබෙනවා. සමහරුන්ගේ පරම්පරාවෙන්ම කොණ්ඩය අඩුයි. කුඩා දරුවන්ගේ නම් මන්දපෝෂණය නිසාත් යකඩ, කැල්සියම් අඩුවීම නිසාත් කොණ්ඩය අඩුවෙනවා. හිසට ඕඩික්ලෝන් වැනි දේ යොදනවා. මෙය ද හිසකෙස්වලට එතරම් හොඳ දෙයක් නෙමෙයි. කොණ්ඩෙ ගැන කුඩා කාලේ ඉඳලම සැලකිලිමත් වීම අවශ්‍යයි. තියෙන්නේ දරුවන්ට කුඩා කාලයේදී හිසට බටුතෙල් යොදන ලෙසයි. දිනපතාම උදේට හිසට බටුතෙල් ගැල්වීමෙන් කුඩා දරුවන්ගේ කොණ්ඩය හොඳින් වැඩීමත් සිදුවනවා. හිස කැක්කුම් හෝ ඔළුවේ කිසිම රෝගයක් ඇතිවන්නේ නෑ. දරුවාගේ හිසේ තෙල්වල වශයෙන් හැඳින්වන ස්ථානයට තෙල් ගැල්වීම කළ යුතුයි.



තරුණියන්ගේ විතරක් නෙමෙයි තරුණයන්ගේත් කොණ්ඩෙ යන තත්ත්වය දක්නට පුළුවන්. හෙයාලයින් එක (නළලත් කොණ්ඩයත් සම්බන්ධ වන තැන) සිට පසු පසටත් නළල දෙපසත් හිස මැදත් කොණ්ඩය යෑම තට්ටය පෑදීම සිදුවනවා. නිතර හෙල්මට් පැලඳීම, තොප්පි පැලඳීම, හෙයාජෙල්, ක්‍රීම් ආදිය දිනපතා ගැල්වීමත් මෙයට හේතුවක්.

* අවේලාවේ නෑම හොඳ නෑ.

සමහරුන් උණුවතුර නෑමට පුරුදුව සිටිනවා. මෙය සුදුසු දෙයක් නෙවෙයි. සමහරුන්ට නාන්න වෙලාවක් නෑ. මේ නිසා රාත්‍රි කාලයේ 12.00 ට 1.00 ට නාන අයත් ඉන්නවා. ඒ වගේම දහදිය දමන නිසා තුන් හතර සැරේ නාන අය ද නැතුවා නොවෙයි. මෙයින් ලෙඩ රෝග ඇතිවෙනවා. ඒ විතරක් නෙමෙයි මේ නිසා කොණ්ඩය අඩුවන එකයි කොණ්ඩය පැහෙන එකයි දෙකම වෙනවා.

* වැඩියෙන් ලුණු කන්න එපා

මෙය ද අප නො දැනුවත්ව සිදුවන දෙයක්. අධික ලෙස ලුණු කෑමෙන් සම රැලිවැටීම, මුහුණ රැලි වැටීම, කොණ්ඩෙ යාම යන හේතූන් තුනම සිදුවන බව ආයුර්වේදයේ දක්වා තිබෙනවා. කරවල, සොසේජස්, බේකන් වැනි කෑම අධික ලුණු සහිතයි.

* සමහර ආලේප සුදුසු නෑ

ඉස්සර අද තරම් හිසට යොදන ආලේපන තිබුණේ නෑ. එමෙන්ම අද තරම් බහුල ලෙස හිසකෙස් රෝග ගැන අසන්නට ලැබුණේ ද නැහැ. හිස සේදීමට අද භාවිත කරන නොයෙකුත් ෂැම්පු වර්ග තියෙනවා. මේවා ගානකොට කොණ්ඩේ යනවා. තුනීවෙනවා. තමන්ගේ කොණඩෙට සුදුසු ද නැත් ද කියලා බලන්නේ නෑ. කවුරු හරි කී පමණික් හෝ දැන්වීමක සඳහන් පමණින් එය හිස ගැල්වීමට පෙළඹෙනවා. මෙම ආලේපනවල තිබෙන සැර ගතියට ඇතැම්විට හිසකෙස් ගැලවී යනවා. රසායන ද්‍රව්‍ය අඩංගු දෑ හිසකෙස්වලට හොඳ දෙයක් නෙමෙයි. මේ හැරෙන්නට හිසකෙස් විලාසිතාවල දී යොදන ඇතැම් ආලේපනවලට ද කොණ්ඩය යාමට පුළුවන්.

* මුදවපු කිරි, දෙහි, උළුහාල් හරිම හොඳයි.

ඉස්සර බොහෝ විට හිස සේදීමට යොදා ගත්තේ ස්වාභාවික ද්‍රව්‍යයයි. මේ නිසා හිසකෙස්වල දීප්තිමත් බව, නීරෝගිමත් බව හොඳින් ආරක්ෂා වුණා. මුදවපු කිරි හිසකෙස්වලට ඉතාමත් හොඳයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේත් මුදවපු කිරි හිස ගල්වා හොඳින් අතුල්ලා ස්නානය කරනවා. දෙහි උළුහල් නෙල්ලි තම්බලා ඔළුවේ ගානවා. ඒ කාලේ අම්මලා මෙය සතියකට වරක්වත් ස්නානයට පෙර දරුවන්ගේ හිස ගල්වනවා.

දැන් ගොඩාක් අයට මේ දේවල් හදාගෙන ඔළුවේ ගාන්න වෙලාවක් නෑ. සමහරුන්ට වෙලාවක් තිබුණත් උවමනාවක් නෑ. එහෙම අයට පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් ඖෂධීය ෂැම්පු එකක් තමයි ‘මේතී’ කියන්නෙ. ‘මේතී’ වශයෙන් හැඳින්වෙන්නේ උළුහාල්, නෙල්ලි, දෙහි යොදා ගනිමින් සැකසී ඇති ෂැම්පු එකක්. ඉස්හොරිවලට කොණ්ඩය හැලෙනවට මෙය හුඟක් හොඳයි.

* හිසට තෙල් නොදැමීම

දැන් තරුණ වියේ පසුවන වැඩි දෙනෙක් හිසට තෙල් දමන්නෙම නෑ. එම නිසා තෙල් නැතුව කොණ්ඩෙ අගිස් පුපුරනවා. ඉස්සර හැමෝටම වගේ හිසට තෙල් දැමීමේ පුරුද්ද තිබුණා. මේ නිසා කොණ්ඩය දීප්තිමත්ව හොඳින් වැඩුණා. දැන් ගැහැනු පිරිමි දෙපක්ෂයම හිසට තෙල් දාන්නේ නෑ.

මේ නිසා තද හිස කැක්කුම එනවා. ඇස් පෙනීම දුර්වල වෙනවා. කොණ්ඩෙ කැඩී යනවා. ඉස්සර හොඳින් හිසට තෙල් දමා පැය 1/2 ක් විතර හිස පීරන්නට වැඩි දෙනෙක් පුරුදුව සිටියා. නමුත්, දැන් සමහරුන් හිස පීරන්නේ යාන්තමින්.

* ඉස්සොරි

ඉස්හොරි ඇතිවන්නේ අපිරිසුදු බව නිසයි. දුහුවිලි කුණු හිසමත තැන්පත් වීමෙන් හිස ඉක්මනින් අපිරිසුදු වෙයි. මෙහිදී නිතර හිස හොඳින් සෝදන්නට ඕනේ. නැත්නම් ඒවා තට්ටු වශයෙන් බැඳේ. ‘කිටිබ’ වශයෙන් හැඳින්වෙන ලෙඩක් හිසේ ඇතිවනවා. (සොරයිසිස්) මේවා හිසේ ඇතිවන අවස්ථා තිබෙනවා. මේ නිසා හිසට හිතකර ෂැම්පු එකක් දමා හිස හොඳින් සෝදන්නට ඕනේ. නැත්නම් නෙල්ලි, දෙහි, උළුහාල් තම්බා එය අඹරා හිස ගල්වා මිනිත්තු 15 ක් පමණ හිඳ සෝදා දැමිය යුතුයි. මෙයට ඉස්හොරි ඉවත්වනවා. නැත්නම් මුදවපු කිරි දමා අතුල්ලා ටික වේලාවක් හිඳ හිස හොඳින් සෝදා පිරිසුදු කරන්නට ඕනේ.

* හිසට දමන තෙල් වර්ග

හිස් කබලේ තෙල් තවරා හොඳින් සම්බාහනය කිරීම හිසකෙස් වර්ධනයට හිසකෙස්වල නීරෝගිමත් පැවැත්මට ඉතාම හොඳයි. හිසකෙස් වර්ධනයට සුදුසු ආයුර්වේද තෙල් වර්ග තිබෙනවා. නීල්‍යාදී තෙල හිසකෙස්වලට සුදුසුයි. අකලට කොණ්ඩය සුදුවීම වළක්වා ගැනීමටත් හිසකෙස් වර්ධනය වීමටත් එය සුදුසුයි. පීනස තිබෙන අයට ඒ සඳහා සුදුසු පීනස් තෙල් තිබෙනවා. නිල්ගුණ්ඩිය්‍යාදි නම් තෙලක් තිබෙනවා. මෙය නිකවලින් සාදන තෙලක්. මෙයද හිසකෙස්වලට ඉතාම හිතකරයි. එමෙන්ම සෙම වැඩියෙන් තිබෙන අයට මෙම තෙල සුදුසුයි.

* කළු තල ඉතා හොඳයි

අකලට හිසකෙස් සුදුවීමට හේතු වන්නේ අධික ලුණු ගැනීම, විටමින් අඩුවීම, පලාවර්ග කෑම අඩුවීම, අවෙලාවට නෑම ආදියයි. හිසකෙස් අකලට සුදුවීම වළක්වා ගන්නටත් හිසකෙස් වර්ධනය වීමටත් සුදුසුම දේ වන්නේ කළුතලයි. කළුතල ගෙන ගරා වේළා තබාගෙන (මෙය ශීතකරණයේ තබා නො ගැනීමෙන් කැදැලි වශයෙන් හැදෙයි) ඉන් පිට පිට සෑම දිනම උදේට සහ හැන්දෑවට කෑමට ගත යුතුයි. මාස 06 ක් පමණ යනවිට කොණ්ඩය ඉදෙන එක අඩු වී යයි. කජු සහ රටකජු ද ඉතාමත් හොඳයි. රටඉඳි ද හිතකරයි. කතුරුමුරුංගා කොළ කෑමට ගැනීම ද හොඳයි.

* ගෙදරදීම හදන තෙල් හුඟාක් හොඳයි

ඉස්සර හිසට දමන තෙල් සාදා ගත්තේ ගෙවල්වලමයි. එක් එක් ඖෂධ වර්ග යොදා සිඳවාගත් තෙල් වර්ගයි එදා හිසකෙස්වලට යෙදුවේ ගෙරදීම සාදාගත හැකි තෙලක් මේ. ගෙදර සිඳගත් පොල් තෙල් ගෙන එයට අමුකහ කැබැලි සැවැන්දරා මුල් දමා රත්කර බෝතලයක දමා තබාගෙන හිස ගැල්විය යුතුයි.

හැම තෙලක්ම සුදුසු නෑ

දැන් වෙළෙඳපොළේ නොයෙක් නම් වලින් තෙල් වර්ග තිබෙනවා. මේවා එතරම් සුදුසු තත්ත්වයේ තියෙන තෙල්වර්ග නොවෙයි. හිසකෙස් යාමට මෙම තෙල් වර්ගත් එක හේතුවක්. කුමන හෝ වර්ග කීපයක් තෙල්වලට දමා උණුකර සුවඳ වර්ග එකතුකර සාදන මෙම තෙල් වර්ගවල කිසිම ගුණාත්මක බවක් නො වන්නට පුළුවන්.

හිසට යොදන තෙල් හදන්න වෙනම ක්‍රමයක් තිබෙනවා. හොඳ පොල්තෙල් ගෙන එයට ඖෂධීය ද්‍රව්‍යයන්ගේ ඉස්ම වර්ග මුසුකොට කල්කයකුත් දාලයි සිඳවා ගන්නට ඕනේ. එයට දවස් තුන හතරක් ගතවෙනවා.

හදන ක්‍රමයත් නිවැරැදිව දැනගන්නට ඕනේ. එසේ හදන තෙල් තමයි නියම තෙල්. දැන් තියෙන සමහර තෙල් වර්ග පොල්තෙල් වලට පාට යොදා සුවඳ දමා තියෙන තෙල් වර්ගයි. පොල් තෙල් තල තෙල් හිසට දැමීම වඩා සුදුසුයි.

* මානසික ආතතිය හොඳ නෑ

මානසික ආතතියට කොණ්ඩය වැඩි වශයෙන් යාමට පටන් ගන්නවා. සමහරුන්ට මේ නිසා නින්ද යන්නේ නෑ. නින්ද නොයනවිටත් කොණ්ඩය යනවා. ස්ත්‍රීන්ගේ ආර්ථව හරණය වන විටත් කොණ්ඩය යාමට පටන් ගන්නවා. ඇතැම් රෝග සඳහා බෙහෙත් වර්ග ගන්නා විටත් කොණ්ඩය යනවා. යම් යම් ආලේපන වලට ද කොණ්ඩය යනවා. මේ නිසා මෙවන් දේ ගැන කල්පනාකාරීව කටයුතු කළ යුතුයි.

* හිසකෙස්වල නිරෝගමත් බව රැකගන්නට නම් පිළිපැදිය යුතු උපදෙස්

සමබර ආහාරයක් ගන්න.

ආහාරයට කොළ වර්ග එක්කර ගන්න.

දහවල් 12.00 ට පෙර ස්නානය කරන්න.

රාත්‍රී කාලයේ නෑමෙන් වැළකෙන්න.

කොණ්ඩය වේළුණු පසු හොඳ තෙලක් යොදා හිස සම්භාහනය කරන්න. නැත්නම් තෙලක් දමා පැයක් දෙකක් හිඳ සෝදන්න.

කොණ්ඩය හොඳින් බ්‍රෂ් කරන්න.

කෘත්‍රිම ආලේපන ගැල්වීමෙන් වැළකෙන්න.

* කොණ්ඩය යනවට චීනකටු

කොණ්ඩය යනවට මෙන්ම අකලට සුදු වෙනවටත් චීන කටු හොඳම ප්‍රතිකර්මයක්. දින විසිඑකක් පමණ මේ සඳහා චීනකටු ගැසූ විට සතියක් පමණ යාමේදී කොණ්ඩය යාම නවතිනවා. හරියටම කරන තැනකින් කරගන්නට ඕනේ එකයි වැදගත් වන්නේ.

ආයුර්වේදයේ කියලා තියෙන්නේ දරුවන්ට කුඩා කාලයේදී හිසට බටු තෙල් යොදන ලෙසයි. දිනපතාම උදේට හිසට බටු තෙල් ගැල්වීමෙන් කුඩා දරුවන්ගේ කොණ්ඩය හොඳින් වැඩීමත් සිදුවනවා. හිස කැක්කුම් හෝ ඔළුවේ කිසිම රෝගයක් ඇතිවන්නේ නෑ. දරුවාගේ හිසේ තෙල්වල වශයෙන් හැඳින්වෙන ස්ථානයට තෙල් ගැල්වීම කළ යුතුයි.

තරුණියන්ගේ විතරක් නෙමෙයි තරුණයන්ගේත් කොණ්ඩෙ යන තත්ත්වය දක්නට පුළුවන්. හෙයාලයින් එක (නළලත් කොණ්ඩයත් සම්බන්ධ වන තැන) සිට පසු පසටත් නළල දෙපසත් හිස මැදත් කොණ්ඩය යෑම තට්ටය පෑදීම සිදුවෙනවා. නිතර හෙල්මට් පැලඳීම, තොප්පි පැලඳීම, හෙයාජෙල්, ක්‍රීම් ආදිය දිනපතා ගැල්වීමත් මෙයට හේතුවක්.

උපදෙස් - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ආචාර්ය උපාලි පිලපිටිය, පිලපිටිය

ආයුර්වේද සෞඛ්‍ය නිකේතනය, කැස්බෑව, පිළියන්දල.

උපදෙස් - ආයුර්වේද විශේෂඥ

වෛද්‍ය ආචාර්ය උපාලි පිලපිටිය
පිලපිටිය ආයුර්වේද සෞඛය නිකේතනය
කැස්බෑව, පිළියන්දල.

ලිව්වේ  මංජුලා මල්කාන්ති

සහය – කසුනි රාජපක්ෂ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




0 comments:

Post a Comment