Thursday, September 1, 2016

මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.

මේ විෂ සහිත පැළෑටි 10 ඔබේ ගෙවත්තේ තියෙනවා නම් ප්‍රවේසම් වන්න.
ඔබේ ගෙවත්තේ නානා විධ ශාක වර්ග තිබෙන්නට පුලුවන්. ඔබ ගෙවත්තේ අලංකාරය පිණිස වැවූ ගහවැල් වගේම ඉබේ වැවුණු ගස් වර්ගත් ඔබේ අවට පරිසරයේ ඕනෑ තරම් ඇති. ලස්සනට වැවුවත් සොබාදහම ගැන හිතලා ගහකොළ ආරක්ෂා කළත් ඔබ අවට ගහකොළ ගැන දැනුවත්කමකින් සිටින එක වටිනවා. මොකද ඔබේ දෙනෙතට අලංකාරය සහ ගතට සිසිලස ගෙන දෙන ගමන්ම ඔබට හෝ ඔබේ පවුලේ අයගේ ජීවිතයට අනතුරක් කිරීමට පවා සමත් ගස්වැල් තිබෙන නිසා. මහා ඖෂධීය ගුණ සහිත සමහර ගස් වැල් වල පවා විෂ සහිත කොටස් තිබෙනවා. ඒ නිසා මේ දේවල් ගැන සොයා දැනගැනීමට ඉතා වැදගත්.

අපේ මේ උත්සාහය ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන එවැනිවූ විෂ සහිත ශාක වර්ග කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි.

පහත සඳහන් ශාක වල විෂ ශරීර ගත වූ වහාම රෝගියාට වමනය කිරීමට සලස්වා හැකි ඉක්මණින් රෝහල් ගත කිරීමට වග බලාගන්න. විෂ වීමට අදාල ශාකයේ ඇට,මල් වැනි කොටස් ඇත්නම් එය රැගෙන යාමත් වැදගත් වේවි. හදිසි විෂ ශරීරගතවීමකදී ක්‍රියාකලයුතු ආකාරය දැනගැනීමට 0112686143 අංකය හරහා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න. ශාක පමණක් නොව අන් සියලුම ආකාරයේ විෂ වීම් සම්බන්ධයෙන්ද ඔබට මේ ආයතයේ පිහිට පැතිය හැකිවෙයි.



1. හබරල වර්ග

විවිධ වර්ග වල හබරල ගස් අපේ ගෙවතු වල බහුලයි. විශේෂයෙන්ම අලකාරය උදෙසා වවන හබරල වර්ග බොහොමයක්ම තිබෙනවා. “ඩම්බ් කේන්” එහෙමත් නැතිනම් Dieffenbachia සහ එලිෆන්ට් ඉයර් (Caladium Bicolor) නමින් හඳුන්වන පැළෑටි ලංකාවේ බොහෝ ගෙවතු වල අලංකාරයට වවා තිබෙනවා දැකිය හැකියි.

මේ හබරල වර්ග වල කොළ කුඩා දරුවන්ට ඉතාම විෂ සහිතයි. සෙල්ලමට කොළයක් සැපුවොත් තොල්, දිව, කම්මුල්, උගුර ආදිය ඉදිමීම කටහඬ දුර්වල වී කතා කිරීමට අපහසු වීමටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

කුඩා දරුවන් නොදැනුවත් කමින් මෙහි කොල වර්ග සැපීමෙන් මෙම විෂ ශරීරගත විය හැකියි.



2. නියඟලා

නියඟලා අලය ගැන ඇසූ පමණින් “මරණය” අපේ සිහියට නැගීම වළක්වන්න බෑ. සියදිවි හානිකරගැනීමට නියඟලා අල ආහාරයට ගන්නා අය ගැන පුවත්ද ඕනෑ තරම් ඔබ අසා ඇති. මීට අමතරව වෙනත් අල වර්ගයයි සිතා අත්වැරදීමෙන් මේ විෂ අල ආහාරයට ගැනීමෙනුත් ජීවිත හානි සිදුවනවා.

නියඟලා මුළු ශාකයම විස සහිත වුවත් වැඩිම විශ ඇත්තේ එහි අලයේයි. මෙහි විෂ ශරීරගතවී පැය කිහිපයක් ඇතුලත. බඩ රිදීම, වමනය, ලේ සහිත මළපහ පිටවීම ආදී රෝග ලක්ෂණ පහලවීමට පටන්ගන්නා අතර හෘදය,වකුගඩු,පෙනහළු ආදී ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රීන් වලටද හානි පැමිණවීමට මේ විෂ සමත්.

නියඟලා මලේ අලංකාරය නිසාම ඇතැමුන් මේවා ගෙවතු අලංකරනයට යොදාගත්තත් කුඩා දරුවන් ගැවසෙන නිවෙස් වල වැවීම කොහෙත්ම සුදුසු නැහැ.

විෂ විය හැකි අවස්ථා

නියඟලා අලය හුලං කීරිය අල සමඟ වරදවා ආහාරයට එක් කරගැනීමෙන් විෂ විය හැකියි. ආහාරයට ගන්නා අල වර්ග අසල මේවා වැවී ඇත්නම් වහාම ඉවත් කරන්න.

පානීය ජලය ලබාගන්න ලිං අසල මෙම ශාකය වැවී ඇත්නම් නියඟලා මල් ජලය සමඟ මුසු වීමෙන් විෂ ශරීරගත විය හැක.



3. කනේරු

කනේරු කියන්නෙත් නියඟලා තරම්ම විෂ නිසා ප්‍රසිද්ධ ශාකයක්. එහෙම උනත් විසිතුරු මල් පැළ අලෙවිසල් වල වගේම ගෙවතුවල අලංකාරයටත් කනේරු ගස් වවා තිබෙනවා අපිට දකින්න පුලුවන්. කනේරු ශාකයේ විවිධ කොටස් විෂ සහිත වුවත් උග්‍රම විෂ සහිත වන්නේ කනේරු ඇට බව පැවසෙනවා. ලංකාවේ රෝස සහ කහ පැහැති කනේරු ගස් දක්නට ඇති අතර කනේරු ගෙඩි සහ ඇට හටගන්නේ කහපැහැති කනේරු වර්ගයේය. රෝස පැහැ කනේරු වර්ගයේත් මල් සහ කොළ විෂ සහිත වනවා.

මේවායේ ඇති “කාඩියැක් ග්ලයිකොසයිඩ්“නම් විෂ නිසා හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස හානි වන්නටත් හුස්ම හිරිවීමෙන් මරණයට පත්වන්නටත් පුලුවන්.

විෂ විය හැකි අවස්ථා

නොදැනුවත් කමින් මෙහි ඇට කොල හෝ මල් ආහරයට ගැනීමෙන් විස විය හැකියි. පානීය ජලයට මල් එකතුවුවහොත් විෂවීමට ඉඩ ඇත.



4. ඔළිඳ

“ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ” කියල අපි ළමා කාලෙ අහපු සුන්දර කවියකුත් තිබ්බට ඔළිඳ වල අසුන්දර පැත්තකුත් තිබෙනවා. ඒ තමයි මේ ඇට සැපීමෙන් කුඩා දරුවන්ට විෂ ශරීරගත විය හැකි වීමයි. මේ විෂ ඇතිකිරීමට එක් ඔළිඳ ඇටයක් කෑම පවා සෑහෙනවා. මෙහි ඇති ඒබ්‍රින් නම් විෂ ශරීරගත වීමෙන් වමනය, මළපහ සමග රුධිරය පිටවීම ආදිය ඇතිවීමටත් දරුණුම අවස්ථාවල වකුගඩු අක්‍රියවීමත් සිදුවිය හැකියි.

විෂ විය හැකි අවස්ථා

සිත්ගන්නා සුලු පෙනුමක් සහිත මේ ඔළිඳ ඇට දරුවන් සෙල්ලම් කිරීම උදෙසාත් විවිධ අධ්‍යාපන ක්‍රියාකාරකම් සඳහාත් යොදාගන්නට ඉඩ ඇති බැවින් මේ ගැන ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන්ගෙන් ඈත් කිරීම ඉතා වටිනවා.



5. එඬරු

එඬරු කිවුවම අපිට මතක් වෙන්නේ ඖෂධීය ගුණයකින් යුතු ශාකයක්.බෙහෙත් එඬරු සහ තෙල් එඬරු වශයෙන් එඬරු ශාකයේ දෙවර්ගයක්ම පවතිනවා. කෙසේ වෙතත් මේ එඬරු ඇට විෂ සහිත බව ඔබ මතක තබා ගත යුතුයි. ඔළිඳ තරම් විෂ නොවුවත් එඬරු ඇට වල ඇති රයිසින් නම් විෂ ශරීරගත වීමෙන් හුස්ම හිරවීම මගින් මරණයට පවා පත්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



6. ඒන්ජල්ස් ට්‍රම්පට් හෙවත් Brugmansia

උද්‍යාන අලංකාරය සඳහා යොදාගන්නා මේ මල් සහිත ශාකයද මුලුමනින්ම විස සහිත ශාකයකි. මෙහි ඇට සහ කොළ වැඩි වශයෙන් විශ සහිත වේ. විෂ ශරීරගත වීමෙන් මස්පිඩු ක්‍රියාකාරීත්වය ඇන හිටීම, පාචනය, හිසේ අමාරු වැනි රෝග ලක්ෂණද, වැඩි විෂක් ශරීරගතවීමෙන් ජීවිතක්ෂයට පත්වීමටද ඉඩ ඇත.

විෂ විය හැකි අවස්ථා

නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



7. කැපුම් කීරිය

තුවාල වලට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කල හැකි නිසා මෙයට මේ නම පටබැඳී ඇත. මෙම ශාකයේ ඇති හයිඩ්‍රොසයනික් අම්ලය ශරීරගත වීමෙන් විෂ නිසා රෝගී තත්ත්වයට පත්විය හැක. බඩේ රිදීම, කරකැවිල්ල, වමනය, මළපහ පිටවීම ආදිය සිදුවිය හැකියි
.

විෂ විය හැකි අවස්ථා

කැපුම් කීරිය බාහිර පෙනුමෙන් මුකුණුවැන්න පැළැටියට සමාන නිසා වැරදීමෙන් ආහාරයට එක්වීමටත් ඉඩ ඇති හෙයින් ඉතා ප්‍රවේසම් විය යුතුය.



8. අත්තන

අත්තන කියන්නෙ ඖෂධීය ගුණය අතින් ඉතාම වටිනා ශාකයක්. ජලභීතිකා රෝගය, ඇදුම, සර්ප විෂ ආදියට පිළියම් කිරීමට අත්තන උපයෝගී කරගන්නවා.

කෙසේ වෙතත් මෙම ශාකයේ කොටස්, විශේෂයෙන්ම ඇට වැඩිපුර ශරීරගත වීම විෂ සහිත වනවා. සිහි විකල් වීම, සිහි නැතීවීම වගේම මරණය පවා කැඳවිය හැකි විෂක් බවට අත්තන ඇට පත්විය හැකියි. පිස්සු වැඩ කරන කෙනෙක් හඳුන්වන්න අපේ ජන වහරේ “අත්තන ඇට කාල වගෙයි” කියල කතාවක් හැදිල තියෙන්නෙත් ඒ මගින් සිදුවන සිහි විකල්වීමේ ගතිය නිසා වෙන්න ඇති.

විෂ විය හැකි අවස්ථා

ඖශධීය ගුණයෙන් යුත් වුවත් දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ඇට හෝ කොල සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



9. හොඬල

හොඬල ශාකයත් දරුණු විෂ සහිත ශාකයක් වනවා. මෙහි ඇති සයනජෙනික් ග්ලයිකොසයිඩ් සහ ටොක්ස් ඇල්බියුමින් යන විෂ නිසා කැරකැවිල්ල, පාචනය, වමනය ආදී තත්ත්වයන් ඇති වනවා.

හොඬල විෂ ශරීරගතවී සති 2-3කින් අනතුරුව හෘද රෝග, අක්මාව විශාලවීම වැනි ආබාධ වලටද ලක්විය හැකියි.

විෂ විය හැකි අවස්ථා

මේ ශාකයේ ගෙඩි පැෂන් ෆෘට් ගෙඩි වලට බෙහෙවින් සමාන කම් දක්වන නිසා වැරදීමකින් කුඩා දරුවන් පැෂන් ෆෘට් යැයි සිතා මෙය ආහාරයට ගන්න පුලුවන්.



10. කදුරු වර්ග

ලංකාවේ කදුරු වර්ග තුනක් ඇත. සමහර කදුරු වර්ග වෙද හෙදකම් වලට යොදාගත්තද කදුරු විශ සහිතයි. වෙදකම් වලට යොදා ගැනීමේදී විශ නසා බාවිතයට ගැනෙයි.

දිවි කදුරු
ශාකයම විෂ සහිතයි. අත්තන වල විෂට සමාන විෂකින් යුක්ත මෙය සිහිමද ගතිය බඩ විරේක වීම, නිදිමත, නාඩි වැටීම වේගවත් වීම ආදිය සිදුවෙයි

ගොඩ කදුරු
මෙහි භයානක විෂ වර්ගයන් වන ස්ට්‍රික්නයින් සහ බෘසින් අඩංගු බැවින් අතිශයින් භයානකය. මෙහි ඇට 2,3ක් වැනි සුලු ප්‍රමාණයක් ශරීරගත වීමෙන් පවා මරණය සිදුවිය හැකිය. ස්නායු පද්ධතියට හානි වීම, ශරීර උෂ්ණත්වය ඉහලයාම, වකුගඩු අක්‍රියවීම ආදියට ලක්වීමෙන් ඉතාම වේදනාත්මක මරණයකට ගොදුරු වීමට සිදුවේ.

වෙල් කදුරු

අතීතයේ පටන් වෙස් මුහුණු සෑදීම සඳහා වඩාත්ම ප්‍රචලිත මේ වෙල් කදුරු ගසේ ලීයයි. වෙල් කදුරු ගෙඩි ඉතා විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් කරකැවිල්ල, වමනය, බඩේ අමාරුව සහ පාචනය ඇතිවිය හැක.

විශ විය හැකි අවස්ථා

දරුවන් ඇති නිවෙස් වල වැවීම අනතුරුදායක විය හැකියි. ඔවුන් නොදන්නාකමින් මෙම ගෙඩි සැපීමෙන් විෂ ශරීරගත විය හැක.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

0 comments:

Post a Comment